මුදල් ඉතිරි කරන සැරසිලි

ඔක්තෝබර් 28, 2020

නිවෙසක පිළිවෙළ මෙන්ම අලංකාරය ද සිතට ගෙනෙන්නේ සැනසිල්ලකි, සතුටකි. ගොඩනැගිල්ලක් නිවෙසක් වන්නේ ගැහැනියක් නිසා යැයි කියමනක් ඇත්තේ ද කාන්තාවන් විවිධ ක්‍රම මඟින් නිවෙස ලස්සන කරන නිසයි. වෙළෙඳපොළේ ඇති විවිධ විසිතුරු භාණ්ඩවල මිළ ගණන් නම් ඇතැම් විට භාණ්ඩයට සරිලන මුදලටත් වඩා ඉහළ ය. එමනිසා නිවෙසේ අලංකාරය ගැන සිතා ඒවා මිල දී ගන්නා විට නොදැනීම වැඩි මුදලක් නිවෙස අලංකරණය සඳහා ඔබට වැය වේ.

ඒත් නිවෙසේ අපද්‍රව්‍ය ලෙස ඉවත දමන විවිධ හැඩයේ බෝතල්වලින් නිවෙස අලංකාර කරගත හැකි බවට මේ ඡායාරූප සාක්ෂි දරයි. බෝතල් විවිධ රටාවලින් හැඩ කිරීමට ග්ලාස්පේන්ට් හා ඔබේ නිර්මාණ ශක්තියත් උපයෝගී කරගැනීමට පුළුවන්. එමෙන්ම පිරිසුදු බෝතල් විවිධ වර්ණ ඇති බීඩ්ස් වර්ග රටාවකට අනුව බෝතල් තුළට දමා ගැනීමෙන් අප සිතනවාට වඩා ලස්සනක් ලබා ගත හැකියි.

බෝතල් තුළට විවිධ කුඩා විසිතුරු දේ දමා විවිධ වර්ණවල දියර එක් කිරීමෙන් විසිතුරු නිර්මාණ කළ හැකිය. උදාහරණයක් ලෙස බෝතලයේ පතුළට මුහුදු වැලි දමා ඒ මතට කුඩා බෙල්ලන්, සිප්පි කටු ආදිය දමා නිල් පැහැයෙන් වර්ණවත් කළ ජලය දමා බෝතලය තුළ මුහුදක් නිර්මාණය කළ හැකිය.

තනි පැහැයකින් වර්ණ ගැන්වූ බෝතලයකට වර්ණවත් කළ ගෝනි කැබැල්ලක් මඟින් විසිතුරු බවක් එක් කළ හැකිය. එමෙන්ම වූල් වලින් බෝතලය ඔතා එය බොත්තම් ආදී විසිතුරු දේ මඟින් සරසා ගැනීම ද ඔබට කළ හැකියි.

වර්ණවත් බෝතල් තුළට කුඩා බල්බ් වැල් දමා වෙනස් ම ආකාරයේ විසිතුරු නිර්මාණයක් සකසා ගැනීමට ඔබට පුළුවන්. සුදු පැහැති බෝතලයකට වර්ණවත් බෝල යොදා ඒවා අතරට බල්බ් දමා ගැනීමෙන් මෙය තවත් අලංකාර කරගත හැකියි. මෙවැනි විසිතුරු බෝතල් ඔබට සැඳෑ සාදයක දී මේස අලංකාර කිරීමට මෙන්ම මේසවල සිහින් එළියක් රඳවා ගැනීමට ද යොදා ගත හැකියි. වෙනස්ම ආකාරයේ සැරසිල්ල ඔබේ සාදයට වැඩි ලස්සනක් එකතු කරනවාට සැක නැහැ. මුදල් ඉතිරිකර නිවෙසේ අපතේ යන ද්‍රව්‍ය මඟින් ඉතාමත් පහසුවෙන් ඔබට මෙවැනි නිර්මාණ සකසා ගත හැකියි..