නිවෙසට පැමිණෙන අමුත්තන්ට වෙනස් විදිහකට සංග්‍රහ කරන්න අලුත් අදහසක්

ජනවාරි 6, 2021

 

ශ්‍රී ලාංකිකයන්වන අප ආගන්තුක සත්කාර කෙරෙහි දක්වන්නේ ඉමහත් සැලකිල්ලකි. අපේ සිරිත වන්නේ නිවෙසට ගොඩ වදින නෑදෑ හිත මිතුරන්ට පමණක් නොව වෙනත් ආගන්තුකයකුට වුවද තමන්ට හැකි උපරිමයෙන් කෑමෙන්, බීමෙන් සංග්‍රහ කිරීමයි. අවම වශයෙන් තේ කෝප්පයක් එහෙමත් නැතිනම් අවස්ථාවේ හැටියට පානය සඳහා වෙනත් යමක් හෝ පිළිගන්වන්නට අපි නොපැකිළ වන්නෙමු.

ඊට අමතරව මාස කිහිපයකට වතාවක් නෑදෑයකුගේ, යහළුවකුගේ නිවෙසකට ගොඩ වැදිලා සතුටු සාමීචියේ යෙදෙන්න, රස සංග්‍රහයක් භුක්ති විඳීන්න අප අමතක කරන්නේ නැහැ. හැබැයි මේ කොරෝනා වසංගතයේ හමුවේ එවැනි සුහද හමුවීම් බොහෝදුරට අවම කරන්නටත් අපට සිදු වුණා. නමුත් මේ දුෂ්කර කාල පරිච්ඡේදය ඉක්මනින් අවසන්කර ඒ සොඳුරු අතීතයේ රස නැවතත් විඳීන්නටයි සැවොම මඟ බලාගෙන ඉන්නේ.

ඉතින් ඒ විදිහට සූදානම් කරනා රස සංග්‍රහයට අලුත් අදහසක් දෙන්නයි අපේ මේ උත්සාහය. හැමදාමත් එකම විදිහට ලක ලැහැස්ති කරන කෑම මේසයට වෙනසක් කරලා බලමුද ?

එකම වර්ගයේ, එකම වර්ණයේ පිඟන්, කෝප්ප, බන්දේසි සහිත කෑම මේසය තුළ දකින්නට ලැබෙන්නේ ඒකාකාරී පෙනුමකි. ඒ වෙනුවට මෙලෙස ආහාර බඳුන්ගත කළහොත් අපුරු පෙනුමක් ලැබෙනවා නේද ? ඒ වාගේම හරිම පිළිවෙළයි. හරියට හෝටලයකට ගිහින් බුෆේ එකකින් ආහාර ගන්නවා වැනි හැඟීමක් ඔබේ අමුත්තන්ට දැනේවි.

මෙම ආහාර බඳුන් රඳවා ඇති කුඩා ඇසුරුම් එහෙමත් නැත්නම් රාක්ක ඇතැම්විට ඔබට වෙළෙඳපොළෙන් මිලදී ගන්නට හැකි වේවි. එලෙස සොයා ගත නොහැකියි කියා කලබල වන්නට එපා. පෑස්සුම් ශිල්පියකු ලවා විවිධ හැඩ සහිතව මෙවැනිම රාක්ක කිහිපයක් සකසා ගන්න. අනතුරුව ඒවාට ගැළපෙන පරිදි ආහාර බඳුන්, පිඟන් ආදිය මිලදී ගන්න. මෙහි පෙනෙන ආකාරයට සුදු පැහැති භාජනවලට කළු පැහැයෙන් ඇසුරුම් රාක්ක සකසා ගත හැකි නම් හරිම කලඑළියයි. සිත්ගන්නා සුලු පෙනුමයි.

ඉතින් ලැබුවා වූ නව වසරේ පැවැත්වෙන ප්‍රිය සාදයන්ට සේම උදාවන සිංහල හින්දු අලුත් අවුරුද්දට මේ විදිහට නවමු පෙනුමකින් ඔබේ අමුත්තන්ට සංග්‍රහ කරන්න කල්තියාම සූදානම් වෙන්න.

 

 

ඡායාරූප - අන්තර්ජාලයෙනි