වැස්සකින් පසුව හැඩ වෙන උද්‍යානය රැකබලා ගන්නේ කෙසේද?

ජනවාරි 27, 2021

ගෙඋයන

ගහකොළ නිවා සනහාලමින් මහ පොළොවට ඇද හැලෙන වැස්ස පුදුමාකාර සුන්දරයි. වැසි දියෙන් තෙමුණු පසු පරිසරය ඊටත් වඩා සොඳුරුයි.

ඉතින් වැස්සට පස්සෙ නැවුම් බවින් පිරී ඉතිරෙන ඔබේ ගෙවත්ත දෙස මොහොතක් නෙත යොමන්න. පුදුමාකාර ආශ්වාදයක් ගතට මෙන්ම සිතට ද දැනේවි.

වැසි වතුරෙන් පෙඟුණු ගෙඋයන මත ඇවිද යනවිට ඔබේ දෙපයට දැනෙන්නේ පෙර නොවිඳි සුමුදු පහසකි. සිසිලකි. පොළොව ලත් සියලු විඩාවන් වැසි දියෙන් නිවා සැනසූ අයුරු ඒ පහස ඔබට කියාදේවි.

තවමත් පුංචි දියබිඳිති රැඳුණු ගහකොළ, මල්, ගෙඩි, දීප්තිමත් බවින් බබළන්නෙ ඔබට ආදරණීය හිනාවක් පාමිනි. පහතට වැටිලා අමාරුවෙන් ඉන්න ළපටි අතු රිකිලි හෙමිහිට හිස ඔසවන්නෙ නව පණක් ලැබූ අලුත් කොළ පැහැයකුත් සමඟයි. කුරුල්ලන්ගෙ කිචි බිචියෙ තියෙන්නෙත් නවමු උද්‍යෝගයකි. ගහකොළ පිස හමන මඳ සුළගේ පවා දැවටී ඇත්තේ මිහිරි වූ නව සුගන්ධයකි.

ඉතින් ඇත්තටම වැස්සක් කියන්නෙ මුළු පරිසරයම අලුත් හැඟීමකින් පුරවාලන සුන්දර සිදුවීමකි.

මොහොතක් සිතන්න. ගෙවත්තේ සිටවූ මල් පැළ, ශාක සඳහා උදය, සවස අප කොයිතරම් ජලය දමනවාද? ඒත් වැසි ජලය කියන්නෙ ගසකට දිව්‍ය ඖෂධයක් වගේ. අප ශාක සඳහා සපයන නල ජලයේ ක්ලෝරින් සහ ෆ්ලොරයිඩ් රසායනිකයන් අඩංගුයි. එමඟින් ශාකයට හිතකර පසෙහි ඇති පෝෂක කොටස් කඳ දිගේ ඉහළට ගෙනයාම අවහිර කෙරේ. මේ නිසා ශාකය වර්ධනයට අවශ්‍ය සෞඛ්‍යමය වටපිටාව ඉන් අහිමි වේ. නමුත් වඩා මෘදු, කුඩා පෝෂක කොටස් පිරුණු, නයිට්‍රජන් දිය වූ වැසි ජලය පොළොවේ ඇති පොහොර සහ පෝෂක කොටස් මුල් මඟින් උරාගැනීම වඩාත් පහසු කරවාවි.

නමුත් කොයිතරම් හොඳ වුවත් වැසි ජලයට හැමදෙයක්ම කරන්න බැරි බව ඔබ දන්නවාද? එයාගේ කාර්යය පහසු වගේම ප්‍රයෝජනවත් බවින් වැඩි කරන්න නම් අප විසින් සිදු කළයුතු වැඩ කොටසක් ද තිබෙනවා. ඒ මෙන්න මෙහෙමයි...

වැස්සට පෙර

*හානියට පත්ව තිබේනම් එම ගස්වල අතු  රිකිලි කපා ඉවත් කරන්න.

එවිට නව කොළ සහ රිකිලි හොඳින් වර්ධනය වීමට වැඩි ඉඩකඩක් සැලසේවි.

*අධික වර්ෂාව ඇද හැලෙනවිට වැටීමට හෝ පෙරළීයාමට ලක්විය හැකි උස පැළ සඳහා ආධාරක සකසන්න.

* මල් බඳුන්වල අතිරික්ත වැසි ජලය නොරැඳෙන ආකාරයට ජලය බැසයාම පහසු කරන නිසි ක්‍රමවේදයක් සකස් කරන්න.

* වැසි ජලය පතිතවීමේ දී ගැලවී යා හැකි එහෙමත් නැතිනම් වැසි ජල පහරට ඔරොත්තු නොදෙන වඩාත් සියුම් ශාක ආවරණය කරන්න. නැතිනම් ඒවා අඩුවෙන් ජලය වැටෙන ස්ථානයක තබන්න.

*වැඩි ජල අවශ්‍යතාවක් නොමැති ශාක පිළිබඳ අවධානය යොමු කරන්න. ඒවා ජලය අඩුවෙන් වැටෙන ස්ථානයක හෝ ජලය නොවැටෙන තැනෙක තබන්න.

උදා:- කුඩා දරුවන්ගෙන්, සුරතලුන්ගෙන් ආරක්ෂා කරගනිමින් නිවෙස ඇතුළත සුදුසු පරිදි මේ ශාක සහිත බඳුන් තැබිය හැකියි.

වැස්සට පසු

* ඔබේ විසිතුරු මල් පැළ, එළවළු සහ අනෙකුත් පැළෑටිවල මුල් කුණු වී හානි විය  හැකිදැයි බලන්න.

* ශාක සහිත බඳුන්වල කිසියම් ඉරිතැලීමක් හෝ හානියක් සිදුව ඇත්දැයි බලා එම බඳුන් මාරු කරන්න.

* ගොලුබෙල්ලන්, හන්ගොල්ලන්, පණුවන් ආදීන් වැසි පතිතවීමත් සමඟම ඔබේ උද්‍යානය ආක්‍රමණය කරාවි. ඒ පිළිබඳ සොයා බලා උන් ඉවත් කරන්න.

* නිරෝගී ශාකයේ පෝෂ්‍ය පදාර්ථ ආහාරයට ගනිමින් ඒ අසළ සුවසේ වැඩෙන වල් පැළෑටි අතින් උදුරා දමන්න. ඔබේ සොඳුරු තණපළස මත වැඩෙන වල් පැළෑටි ද උදුරන්න.

* සාමාන්‍යයෙන් වැස්ස නිසා ශාකවලට ජලය දැමීම සිදු නොකෙරේ. නමුත් දිගින් දිගටම වැස්සත් සමඟ පස තදවීමට ඉඩ තිබේ. එමඟින් මුල්වලට අවශ්‍ය පසෙහි ඇති වාතය නොලැබී යාවි. මේ නිසා පස බුරුල්වීමට වැස්සෙන් පසුව වුවද සුදුසු පරිදි ශාකවලට ජලය සැපයීම කළයුතු වේ.

වැස්සෙන් පසුව ඔබේ උද්‍යානය අපූරු හැඩකාර පෙනුමක් ගනීවි. ඒ පසෙහි සහ ශාකවල නයිට්‍රජන් සංයුතිය ඉහළ අගයක් ගන්නා බැවිනි. එමෙන්ම වැහි බිංදුවල අඩංගු ඔක්සිජන් නිසා සතුටට පත්වන පොළොව ආරක්ෂිත දැලක් මෙන් ක්‍රියාත්මක වීමට ද පටන් ගනියි.

ඒ විතරක් ද? වැසි ජලය හොඳින් කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීමත් සිදු කරාවි. ශාකයට අවපෝෂක කොටස් පොළොවෙන් උරා ගැනීම සිදුවන්නේ මුල් මඟිනි.

 එසේ වුවත් මල්, පලතුරු සහ කොළවල මතුපිට වැස්ම පවා සැකසී ඇත්තේ තමන්ට අවශ්‍ය පෝෂක කොටස් ඉක්මනින් උරා ගැනීමට පහසු වන ආකාරයටයි. මෙම හේතූන් නිසා ඉක්මනින් පිබිදෙන ගහකොළ, වැසි දියෙන් තෙමුණු උද්‍යානයට දීප්තිමත් සිත් ඇදගන්නා සුලු පෙනුමක් ලබා දේවි.

 

  උපදෙස් 
උද්‍යාන අලංකරණ නිර්මාණ ශිල්පී
ක්‍රිෂාන්ත දේශප්‍රිය
               
සටහන  
චම්පා වරුසප්පෙරුම