ගමටත් නගරයටත් එකසේ ගැළපෙන බඳුන්ගත කහ වගාව

පොලිසැක් මලුවල කහ වගා කිරීමෙන් ඉහළ අස්වැන්නක්
පෙබරවාරි 17, 2021

 

මුළුතැන්ගෙයි රසකාරක හිතමිතුරා ‘කහ’ කුළුබඩුවක් සේම විසබීජ නාශකයක් ලෙසින් ද අපට බොහෝ ප්‍රයෝජනවත්.

මෙරට බොහෝ ප්‍රදේශවල කහ වගා කළ හැකි අතර නාගරීකරණයත් සමඟ ඉඩම් කැබලිවීමත් එනිසා නව වගා බිම් සකසා ගැනීමට නොහැකි වීමත් මත කහ වගාව සීමිත වී තිබේ. මෙයට පිළියමක් ලෙස බඳුන්ගත කහ වගාව හඳුනාගෙන ඇති අතර එමඟින් නාගරිකව ද පහසුවෙන් කහ වගාවක් පවත්වාගෙන ගිය හැකියි. එබැවින් මේ බඳුන්ගත කහ වගාව පිළිබඳ අද අපි සොයා බලමු.

කහ වගා මලු

මැටි, සිමෙන්ති, ප්ලාස්ටික් වැනි බඳුන් මේ බඳුන්ගත වගාව සඳහා යොදා ගත හැකියි. ඊට අමතරව නිවෙසේ පරිභෝජනය සඳහා රැගෙන එන හාල්, සීනි, පිටි ආදිය බහාලන කවර එනම් භාවිතයෙන් ඉවතලන පොලිසැක් මලු භාවිත කරමින් ද සාර්ථකව කහ වගා කළ හැකි වේ.

මෙලෙස පොලිසැක් මලුවල කහ වගා කිරීමෙන් ඉහළ අස්වැන්නක් ලබාගත හැකියි.

ඊට ප්‍රධානතම හේතුව වන්නේ කහ වගාවට ඉතා යෝග්‍ය තත්ත්ව වන බුරුල් කාබනික ද්‍රව්‍ය බහුල, මනා ජලවහනයක් සහිත වගා මාධ්‍යයක් මේ වගා මලුවලින් ලබාගත හැකි වීමයි.

ඊට අමතරව සීමිත ඉඩකඩක් භාවිතවීම, ලෙඩ රෝග පැතිරීම අවමවීම, නිවෙසක කුඩා බැල්කනියක, කොරිඩෝවක ඉඩ පවා මේ සඳහා භාවිත කළ හැකි වීම, නඩත්තු කටයුතු පහසුවීම වැනි කරුණු ද මේ වගාව ජනප්‍රිය වීමට බලපා තිබේ.

සාමාන්‍යයෙන් පොලිසැක් මලුවල කහ වගා කිරීමේ දී කිලෝග්‍රෑම් 50 හෝ 25 මලු භාවිත කිරීම වඩාත් සුදුසු වේ.

ඊට අමතරව කිලෝග්‍රෑම් 5, 10 මලුවල ද මේවා වගා කළ හැකි වුවද බෑගය කුඩා වනවිට රයිසෝම හෙවත් කහ අල හටගැනීමට ඉඩකඩ ප්‍රමාණවත් නොවේ. එවිට අස්වැන්න ද අඩුය.

ඇතැම් අය පොලිතීන් කවර ද කහ වගාවට යොදා ගන්නා නමුදු එහිදී ජලවහනය සඳහා ප්‍රමාණවත් පරිදි සිදුරු සකසා ගත යුතුය.

නමුත් පොලිසැක් මලු සඳහා මෙලෙස අමතර සිදුරු සැකසීමක් අවශ්‍ය නොවේ.

 

වගා මිශ්‍රණය

මේ බඳුන්ගත වගාව සඳහා යොදාගන්නා වගා මාධ්‍යය ඉතාම වැදගත්.

එහිදී,

* ගොම හෝ කොම්පෝස්ට් කොටස් 01 ක්

*දිරාගිය කොළ රොඩු සහිත මතුපිට පස් කොටස් 02 ක්

මේවා එකට මිශ්‍ර කිරීමෙන් සාරවත් වගා මාධ්‍යයක් සකසා ගත හැකිය. මෙහිදී ඔබට දහයියා සපයා ගැනීමේ හැකියාවක් ඇත්නම් අඩක් පිළිස්සූ දහයියා කොටස් එකක් ද ඉහත මිශ්‍රණයට කලවම් කරගන්න.

වගාව සඳහා ඔබ කිලෝග්‍රෑම් 50 හෝ 25 මල්ලක් යොදා ගන්නේ නම් එහි උස භාගයක් වනසේ දෙකට නවාගන්න. අනතරුව මේ නවාගත් මල්ලේ ඉහළ දාරයේ සිට අඟල් 04 ක් පමණ ඉඩ ඉතිරි වනසේ ඉහත සඳහන් කළ වගා මාධ්‍යය පුරවාගන්න. ඉන්පසුව ට්‍රිපල් සුපර් පොස්පේට් (ඊ. ඉ. ර්‍ථ.) ග්‍රෑම් 20 ක් ද මෙයට එකතුකර අඟල් 06 ක් පමණ ගැඹුරට පසට කලවම්වන පරිද්දෙන් කෝටුවක් ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරගන්න.

බීජ අල තෝරා ගැනීම

සිටුවීම සඳහා බිජ අල තෝරා ගැනීමේ දී මාස 10 ක් පමණ හොඳින් මේරූ නිරෝගී අල තෝරාගන්න. එමෙන්ම වගාවේ දිලීර සහ වටපණු හානිය අවම කරගැනීම සඳහා මේ බීජ අල සිටුවීමට පෙර බීජ ප්‍රතිකාර කිරීම කළයුතුය. ඒ සඳහා මැන්කෝසෙබ් දිලීර නාශකයෙන් ග්‍රෑම් 38 ක් ජලය ලීටර් 10ක දියකර බීජ අල විනාඩි 30 ක් එහි ගිල්වා තබන්න.

මෙලෙස සූදානම් කරගත් බීජ අලවලින් ග්‍රෑම් 100 ක් එක් බෑගයක් සඳහා අවශ්‍ය වේ. එම බීජ අල ත්‍රිකෝණාකාර සම දුරින් සැකසූ වළවල් තුනක (අඟල් 3 - 4 ක් ගැඹුරට) එක් වළකට ග්‍රෑම් 30 - 35 ක් පමණ වැටෙන සේ දමා සිටුවාගන්න.

පොහොර

බඳුන් මාධ්‍යය සඳහා කාබනික පොහොර ප්‍රමාණවත්ව යොදාගන්නා බැවින් රසායනික පොහොර යෙදීම එතරම් අවශ්‍ය නොවේ. මන්ද කාබනික පොහොර යෙදූවිට කහ භෝගය ඉහළ වර්ධනයක් පෙන්වන අතර ගොම පොහොර සහ කොම්පෝස්ට් වැඩි වශයෙන් යොදන්නට හැකිනම් රසායනික පොහොර යෙදීමක් අවශ්‍ය නොවේ.

රසායනික පොහොර යොදන්නේ නම් බීජ සිටුවා මාස 1½ සහ මාස 03 කින් මියුරියෙට් ඔෆ් පොටෑෂ් (ර්.ර්‍ණ.ර්‍ථ.) ග්‍රෑම් 10 ක් ජලය ලීටරයක දියකර එක් මල්ලකට බැගින් යෙදිය යුතුය.

වසුන් යෙදීම

කහ වගාවේ අත්‍යවශ්‍ය විද්‍යාත්මක ක්‍රියාකාරකම වන්නේ වසුන් යෙදීමයි. බීජ අල පැළ කිරීමෙන් පසුව මලුවල ඉහළ අඟල් 2 - 3 ක තට්ටුවක් ලෙස වසුන් යෙදීම කළ යුතු වේ. ඒ සඳහා පිදුරු ඉතා සුදුසු වන අතර පිදුරු සොයාගත නොහැකි අවස්ථාවේ දී දහයියා, දිරාගිය යතුª කුඩු (වඩු මඩුවලින් ඉවත්කරන) ආදිය යොදාගත හැකිය. කොළ පොහොරක් ලෙස ග්ලිරිසීඩියා (වැටහිර, වැටමාර) කොළ අතු අඟල් 1 - 2 ක් පමණ උස ස්ථරයක් ලෙස යෙදිය හැකියි. මෙම වැටහිර කොළ මසකට වතාවක් බැගින් මාස 05 ක් ගතවනතුරා යෙදීම යෝග්‍ය වේ.

ජලය යෙදීම සහ නඩත්තුව

මුල් මාස පහ තුළ දින දෙකකට වරක් ජලය යොදන්න. අනතුරුව අවශ්‍යතාව පරිදි ජලය යෙදිය යුතු වේ. වල් පැළ ගැලවීම සහ වසුන් දිරාපත් වනවිට අලුතින් එකතු කිරීම වරින්වර සිදු කරන්න. එමෙන්ම කහ වගාවේ දී සෙවණ 20% - 40% ක් තිබීම එහි වර්ධනය සහ අස්වැන්න වැඩි කිරිමට බලපාන අතර, ඔබේ ගෙවත්තේ අනෙකුත් ශාකවලින් ලැබෙන ස්වාභාවික මඳ සෙවණ ඉතා යෝග්‍යය.

අස්වනු නෙළීම

කහ ශාකය පරිණත වී උපරිම අවස්ථාවට පත් වනවිට ක්‍රමයෙන් වියළී යාම දැකිය හැකියි. මෙම කාලය ශාක සිටුවා මාස 8 - 10 ත් අතර කාලයයි. එවිට පිහියක් ආධාරයෙන් ගස කපා අත් මුල්ලුවක් භාවිතයෙන් පහසුවෙන් සහ පරෙස්සමෙන් අස්වැන්න ගලවා ගන්න. සාමාන්‍යයෙන් පොලිසැක් මල්ලක වගා කිරීමෙන් කිලෝ ග්‍රෑම් 05 ට වැඩි කහ අස්වැන්නක් නෙළා ගත හැකි බවත් අමතක කරන්න එපා.

 

උපදෙස්

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ

මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ

අශෝක ගුණරත්න

 

 

ඡායා- ලසන්ත අබේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
19 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.