නවීන තාක්ෂණය අනුව තැනූ සුන්දර නිවහනක්

මැයි 5, 2021

 

නිවෙසක් තැනීම කලාවකි. එම කලාවට වාස්තු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය හා ගොඩනැඟිලි තාක්ෂණය යන සියල්ල හොඳින් සංකලනය විය යුතුමය.

එසේම ඒ සදහා වැයවන මුදල් කළමනාකරණය ගැන අවබෝධයක් හා සැලසුමක් ඇති නම් ඔබට සුන්දර නිවහනක් තනා ගැනීම අසීරු ඉලක්කයක් නොවෙයි. නිවෙසක් තැනීමට සිහින දකින ඔබ මූලිකවම මේ සඳහා සැලසුමක් තැනීම වැදගත් පියවරක් වන්නේ එබැවිනි. එම සැලසුමට ගැළපෙන ලෙසින් දළ ඇස්තමේන්තුවක් ද ඔබටම තිබීම වැදගත්ය. බොහෝ දෙනෙක් නිවෙසක් තැනීමට සැලසුමක් නිර්මාණය කර ගැනීමට දක්වන උනන්දුවේ තරමටම ඇස්තමේන්තුව ගැන නොසිතයි. ඒ නිසාම බොහෝ නිවාස තනා නිමකර ගැනීමට නොහැකිව ළතැවෙයි. බුද්ධිමත් ගෘහණියක් ලෙස ඔබ නිර්මාණ ශිල්පියා සමඟ ඔබගේ නිවාස සැලසුම ගැන පමණක් නොව එහි ඇස්තමේන්තුව ගැනද හොඳින් සාකච්ඡා කරන්න. එවිට නිවෙසේ ප්‍රමාණය කොතරම් විශාල වුණත් ඔබට ගැළපෙන නිවහල් නිවහනක් තනා ගැනීමට හැකිවනු ඇත.

අප මෙවර ඔබට තිළිණ කරන සැලසුම නවීන තාක්ෂණයට තැනූ තරමක් විශාල නිවහනකි. එහි වැරැන්ඩාව නිර්මාණය වී ඇත්තේ රථගාලක් ලෙසද එය යොදා ගතහැකි ආකාරයෙනි. මෙහි මැද සාලය සීමාවේ එක් කොණක තරප්පු පෙළ වෙයි. ඒ අසලින්ම Court Yard එකක් ඇත්තේ පහළ මහල හොදින් දැක ගැනීමට පහසුවෙන ආකාරයෙනි. මෙහි තරමක විශාල පැන්ට්‍රියකි. එය ඉදිරිපසින් Dining Area නැතිනම් කෑම කාමරය සීමාව වෙයි. ප්‍රධාන නිදන කාමරය හා එයට යාබදව තවත් කාමරයකි. එම කාමර දෙකට මැදිව නාන කාමරයක් ඇත්තේ කාමර දෙකටම ප්‍රයෝජනවත් ලෙසිනි. මෙහි විශේෂත්වයක් ලෙස ඉඩමේ පිහිටීම අනුව රථගාල ඇත්තේ නිවෙසේ පසුපස සීමාව තුළය. එය ඔබට තම ඉඩමේ පිහිටීම අනුව නිර්මාණය කර ගත හැකි කොටසකි.

මෙම නිවෙසේ ඉහළ කොටස ද තරමක් සංකීර්ණය. එහි වැරැන්ඩාවට සමපාත වූ සීමාවට පිටතින් නිවෙසේ පසුපස සීමාව දක්වා ගමන් කළ හැකි හිස් අවකාශයකි. මැද සීමාව තුළ ඇත්තේ TV ලොබියයි. එම ලොබිය දෙපස කාමර දෙකක් වෙයි. එයට අමතරව තවත් කාමරයක් පසුපස සීමාවේ පිහිටන අතර ඒ අසල නාන කාමරයක් ද දක්නට ඇත.

මෙලෙසින් නිම වූ මෙම නිවෙස අවට සම්පූර්ණයෙන්ම දර්ශනයවන ලෙසින් දෙපසින් බැල්කනි දෙකකි. එම බැල්කනි දෙක නිසා නිවෙසට අමුතුම ආකර්ෂණයක් එක් වී තිබෙන අතර අවට සුන්දරත්වය විඳ ගැනීමට ද හැකි අයුරින් නිවෙස නිර්මාණය වී තිබේ.

මෙම නිවෙසේ ප්‍රමාණය අනුව ඒ සඳහා වැයවන මුදල තරමක් පාලනය කළ හැකි ක්‍රම කිහිපයක්ම වෙයි. අවශ්‍ය නම් මෙහි ඇති යම් යම් කොටස් ඔබගේ ඉඩමෙ ගැළපෙන අයුරින් වෙනස් කළ හැකිය. එසේම නිවෙසේ ඇතැම් කොටස් සැලසු‍ෙමන් ඉවත් කර ඔබට ගැළපෙන අයුරින් කොටස් එක් කළ හැකි අයුරින් මෙය නිර්මාණය කළ හැකි වෙයි.

 

 

උපදෙස්

කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක