සාමාන්‍ය පවුලකට කදිමට ගැළපෙන දෙමහල් නිවෙසක්

නාගරික, අර්ධ නාගරික ඕනෑම ප්‍රදේශයකට ගැළපෙන සැලසුමක්
මැයි 19, 2021

 

 

අප නිවෙසක් තනා ගන්නේ ජීවිත කාලය පුරාවට නිවී සැනසිල්ලේ ජීවත් වෙන්නටය. මෙලෙසින් අප තනා ගන්නා නිවෙස ජීවිත කාලයට ගැළපෙන ලෙසින් නිර්මාණය කර ගැනීමට අප බුද්ධිමත් විය යුතුය.

දවසින් දවස වැඩිවන ජනගහනය අනුව නගරයත් ගමත් අතර වූ පරතරය බෙහෙවින්ම අඩු වී ඇත්තේ නොසිතන ලෙසිනි. අතීතයේ දුෂ්කර ගම් පළාත් ලෙස පැවැති ප්‍රදේශ වර්තමානයේ ඉතාම වේගයෙන් සංවර්ධනය වී ජනාකීර්ණ වී ඇත්තේ ඉතාම කෙටි කාලයකිනි.

මේ නිසා නිවෙසක් තැනීමට සැලසුම් කරන ඔබත් මේ පරිවර්තනයට ගැළපෙන ලෙසින් නිවෙසක් තනා ගත යුතුය.

ඔබ ගමක සිටියත් නගරයක පදිංචිව සිටියත් නවීන තාක්ෂණයට අනුව නිවෙසක් තනා ගැනීම බුද්ධිමත් ක්‍රියාවකි. ඒ සඳහා ඔබගේ ආර්ථිකයට සරිලන ඉඩමට ගැළපෙන අයුරින් නිවෙසක් තනා ගත හැකි නම් එය ඔබට අනාගතයට ද වාසියකි. එසේම ඔබේ දරුවන්ට පවා එය හොඳම ආයෝජනයකි.

මෙවර ඔබට ඉදිරිපත් කරන සැලසුම ද එලෙසින් නිර්මාණය කළ නිවෙසකි. මෙය කුඩා පරිමාණයේ දෙමහල් නිවෙසක් වුවත් කාමර පහක පමණ තරමක විශාලය. එම කාමර පහට අමතර නිවෙසකට අවශ්‍ය සියලුම අංග ඇතුළත්ව නිර්මාණය කර ඇත්තේ ඉතාම ආකර්ෂණීය අයුරිනි. එසේම නිවෙසේ සෑම අංගයක්ම අනාගතයට ද ගැළපෙන අයුරින් නිර්මාණය වී තිබීම විශේෂත්වයකි.

ඔබ මෙහි ඉදිරියෙන්ම දකින්නේ රථ ගාලක් සහිත වැරැන්ඩාවකි. රථ ගාල අසලම කුඩා පරිමාණයේ ගබඩා කාමරයක් ද වෙයි. ඔබට අවශ්‍ය නම් අමුත්තන් සඳහා වූ කාමරයක් ලෙසද මෙය යොදාගත හැකි ලෙස පිහිටයි. එසේම නිවෙසේ

මැද සීමාව විශාල සාලයකි. එයටම යාබදව කෑම කාමරයක් ද වෙයි. එම කෑම කාමරය ආසන්නව ඇත්තේ මුළුතැන්ගෙයයි.

මෙහි ඇති මුළුතැන්ගෙය නවීන තාක්ෂණයට අනුව පැන්ට්‍රියක් ලෙස ද ඔබට යොදාගත හැකි අයුරින් වෙයි. නිවෙසේ පසුපසම සීමාවේ ඇත්තේ කාමර දෙකකි. මේ කාමර දෙක ආසන්නව නාන කාමරය පිහිටයි. මෙහි ඉහළ මහලට ප්‍රවේශය සඳහා වූ තරප්පු පෙළ පිහිටන්නේ සාලය අන්තයෙනි.

එම තරප්පු පෙළ නැග අප පිවිසන්නේ නිවෙසේ දෙවැනි මහලටයි. දෙවැනි මහලේ කාමර තුනකි. මැද සීමාවේ TV ලොබිය වෙයි. එසේම නාන කාමර දෙකක් ද දක්නට ලැබෙන අතර කාමර තුනටම වෙන වෙනම බැල්කනි තුනක් යොදා ඇත්තේ අවට හොඳින් දර්ශනය වෙන ආකාරයෙනි.

පර්චස් 8 - 10 ප්‍රමාණයේ ඉඩමක තැනූ මේ නිවහන අර්ධ නාගරික ප්‍රදේශයකට ද ගැළපෙයි. එසේම නාගරික ප්‍රදේශයකට ද ගැළපෙන අයුරින් තනා ගැනීමට නම් කුඩා වෙනස්කම් කිහිපයක් කළයුතු වෙයි. ඔබ මේ සැලසුමට අනුව කුමන ප්‍රද්ශයක නිවෙසක් තැනුවත් මේ සැලසුම සාමාන්‍ය පවුලකට හොඳටම ප්‍රමාණවත්ය. එසේම එවැනි පවුලකට නිවෙස නඩත්තු කිරීමට ද පහසුය. එසේම ඔබට අවශ්‍ය නම් කුඩා වෙනස්කම් කිහිපයක් කිරීමේ හැකියාවද මේ සැලසුමට අනුව ඉතාම පහසුවෙන්ම කළ හැකි වෙයි.

 

උපදෙස්

කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක