දිරාපත්වන දැව කැබැල්ලටත් වටිනාකමක්

ජුනි 16, 2021

 

ශ්‍රී ලාංකික අපට ඉතාමත් සරුසාර පොළොවක් හිමිය. එබැවින් ඉවත දමන දඬුව වුවද කිසිදු අපහසුවකින් තොරව නැවතත් මුල් අද්දා පැළයක් බවට පත්ව අපට මල්, කොළ, ගෙඩි පිරිනමයි. ශාකය සතු සියලු ජීව ගුණය අපට ලබාදෙනවා පමණක් නොව පසුකලෙක දිරාපත්ව පසට පොහොරක් බවට ද පත්වේ.

එමෙන්ම විවිධාකාරයේ දක්ෂතාවන්ගෙන් පිරිපුන් මිනිසුන් වූ අපි ද මේ වෘක්ෂය සතු සියලු දේම පාහේ හරි අපූරුවට උකහා ගන්නට තරම් දක්ෂයෝ වෙමු. මල්, ගෙඩි, කොළ, පොතු, මුල් ආදිය ආහාර සහ ඖෂධ ලෙසින් ලබාගන්නවා පමණක් නොව දිරාපත්වන ශාක කඳට ද පුදුම ආකාරයේ වටිනාකමක් එකතු කර තම ප්‍රයෝජනය සඳහා සකසා ගන්නට පසුබට නොවෙති.

මොහොතක් මේ ඡායාරූප දෙස නෙත් යොමන්න.

දිරායන දැව දඬු කැබැලි උපයෝගී කරගෙන අපූරු නිර්මාණ කිහිපයක් සකසා ඇති අන්දම බලන්න. නිවෙස ආලෝකමත් කරනා විදුලි ලාම්පු ආවරණ සහ විදුලි පහන් රඳවන සේම ඡායාරූප සහ කැඩපත් රාමු ආදිය වෙනස්ම සුන්දරත්වයක් රැගෙන විත් තිබේ. ඊට අමතරව ගෘහ අභ්‍යන්තරය කලඑළි කරවන මේ පුංචි පුංචි දැව නිර්මාණ හරිම අලංකාරයි නේද? මෙවැනි අපූරු නිර්මාණ වෙළෙඳපොළෙන් මිලදී ගන්නේ නම් තරමක් මිලාධික ඇති. ඒත් කලාත්මක ඇස, නිර්මාණශීලී හැකියාව ප්‍රයෝජනයට ගතහොත් මේවා ඔබටම සකසා ගත හැකි බවත් අමතක කරන්න එපා.

 

 

ඡායාරූප - අන්තර්ජාලයෙනි