වැස්ස ඉවරයි ඔබේ අවධානය ගෙවත්තට යොමු කරන්න

ජුනි 23, 2021

කොරෝනා වසංගතය ක්‍රම ක්‍රමයෙන් වැඩි වෙන්නට පටන් ගැනීමත් සමඟම නැවතත් බොහෝදෙනකු නිවෙස්වලට ම කොටු වුණා. සංචරණ සීමා මායිම් නිසා අත්‍යවශ්‍ය සේවා හැරෙන්නට අනෙක් සියලුම දෙනා පාහේ නිවෙසේ සිට සිය රැකියා කටයුතුවල නියුතු වෙනවා.

ඒ නිසා වැඩිදෙනකුට මේ උදාවී ඇත්තේ තරමක් නිදහස් කාලපරිච්ඡේදයක් කියන දේ අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඉතින් ඒ නිදහස හරි අපූරුවට තම ගෙවත්තේ වැඩ කටයුතුවල සඳහා යොදාගත හැකියි.

නමුත් අවාසනාවකට දෝ පහුගිය දින කිහිපයේම දැඩි වර්ෂාපතනයකට මුහුණ දෙන්නට අපට සිදුවුණා. ගෙවත්තේ වැඩ කටයුතුවල යෙදෙනවා වෙනුවට තම ගේ දොර වතු පිටි ගං වතුරෙන් බේරාගැනීමට ජල රකුසා හා සටන් කරන්නට බොහෝ දෙනෙකුට සිදු වුණා. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ බොහෝ ප්‍රදේශ හරහා ගංවතුර ගලා ගියා. ඒ නිසාම තව තවත් අසරණ වන්නටයි බොහෝ දෙනෙකුට සිදු වුයේ.

 

අටලෝ දහමෙන් කම්පා නොවෙමු

 

නමුත් සෑම දෙයක්ම සිදුවන්නේ මිනිසාටම යැයි කටවහරේ ද පැවසෙනවා. ඉතින් අටලෝ දහමෙන් කම්පා නොවී ඉදිරියට සිදු කළහැකි දේ සොයා බලා කටයුතු කිරීමයි අප කළ යුත්තේ. එබැවින් අව්ව , වැස්ස , නියඟය මේ වසංගත තත්ත්ව ආදී සියල්ලම සොබාදහමෙන් අපට හිමිවන දායාද ලෙස සිතන්න.

දැන් නැවතත් වැහිබර කාලගුණය තරමක් අඩු වෙලා. නිවෙස් තුළටම ගුලි වී කම්මැළිකමින් ගතවුණු දින කිහිපය අමතක කරන්න. නැවතත් ගෙවත්තට බසින්නට සූදානම් වන්න.

මේ වනවිට වැස්ස නිසා ඔබේ වගාවන් බොහොමයකට හානි සිදුවී ඇති. ඒවා නැවතත් පිළිසකර කරගත යුතු වෙනවා. වගාවන්වල හරි අපූරුවට පීදීගෙන ආ මල් කැකුළු බොහොමයක් බිම වැටී ඇති. පුංචි පුංචි ගෙඩි හටගත් ගස්කොළන්වල අතු පිටින්ම බිම වැටී ඇති. එහෙමත් නැතිනම් ඇතැම් ගහකොළ පැත්තකට ඇලවී තිබෙන්නටත් පුළුවනි. ඉතින් එවැනි අවස්ථාවක දී සුදුසු ආධාරකයක් තබා ඒවා බිම පතිත වීම වළකාගන්න. නිවෙසට අවහිරවන ආකාරයේ පවතින ගහකොළ නම් කපා ඉවත් කරන්න.

කඩා වැටුණු වැට මායිම් සකසා ගන්න. ගෙවත්තේ වැසි ජලය වැඩි වශයෙන් එකතු වෙනවා එම ජලය බැසයාමට කාණු පද්ධතියක් සකසන්න. දැනටමත් කාණු පද්ධතියක් පවතිනවා නම් ඒවා පිරිසුදුකර අවහිරතා නැති කරගන්න. ඔබේ වගා පාත්ති වටා ද කාණු කපන්න. වැසි ජලය පතිත වී වගා බිමේ වළවල් හෑරී, ශාක මුල් උඩට මතුවී ඇත්නම් ඒවා වැසී යන පරිද්දෙන් නැවතත් පස් යොදන්න. සේදී ගිය පස වෙනුවට ඔබට කොම්පෝස්ට් පොහොර මිශ්‍ර පස් යෙදිය හැකි නම් වඩාත් සුදුසුයි.

 

කැඩුණු බිඳුණු ගහකොළ වෙනුවට අලුතෙන් පැළ සිටුවමු

 

ජල පහරට හසුව කැඩුණු බිඳුණු ගහකොළ වෙනුවට අලුතින් පැළ සිටුවීමත් කළ යුතුයි.

පසුගිය කාල වකවානුවේ අප දේශීය රසකාරක බෝග වගාව යටතේ ඉඟුරු සහ කහ වගාව ගැන සඳහන් කළා ඔබට මතක ඇති. මාර්තු සහ අප්‍රේල් මාසයන්හි කහ සහ ඉඟුරු ඔබ සිටුවා ගත්තා නම් මේ වනවිට එම වගා බිම් ද ජලයට යට වන්නට ඇති. නමුත් එහිදී ඔබගේ වගාව ආරම්භ කළේ වගා මලුවල නම් ඒවාට එතරම් හානියක් සිදු නොවී ඇති. ඉඟුරු සහ කහ වැනි භෝග උස් පාත්ති සකසා සිටුවන්නේ මේ වැනි අවස්ථාවල ජලය නිසා ඒවා හානිවීම වැළැක්වීමටයි. වගා භූමියේ සිටුවා ගත් බීජ ඇතැම්විට නිසි ජලවහනයක් නොතිබුණි නම් විනාශ වීමට ද ඉඩ තිබේ. එබැවින් ඒ පිළිබඳ ඔබේ අවධානය යොමු කරන්න.

 

අතුරු නිෂ්පාදන සකසා ගන්නටත් මේ හොඳම කාලයයි

 

ඒ වාගේම පසුගිය කාලවකවානුවේ බීජ නෙළාගත් කහ, ඉඟුරු සහ ගම්මිරිස් ඔබ සතුව පවතිනවා නම් ඒවායින් අතුරු නිෂ්පාදන සකසා ගන්නටත් මේ හොඳම කාලයයි. මෙම සංචාරණ සීමා පවතින කාලවකවානුවේ ඔබේ නිෂ්පාදනවලට හොඳ ඉල්ලුමක් ඇතිවේවි. විශේෂයෙන් වස විසෙන් තොරව නිවෙසක සකසන මෙවැනි කුළුබඩු පරිභෝජනයට දැන් බොහෝ දෙනෙක් යොමුවෙලා. විශේෂයෙන්ම ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ මෙම නිෂ්පාදන අලෙවිය සිදු කරන්නට ඔබට හැකියාව ඇත්නම් එය වඩාත් පහසුවක් සේම හොඳ ආදායමක් ද ලැබිය හැකි මාර්ගයකි.

මෙම කහ, ඉඟුරු, ගම්මිරිස් ආදී නිෂ්පාදනවලට අමතරව අප ඉදිරියේ දී සාදික්කා, කුරුඳු , වැනිලා, එනසාල්,

කරාබු නැටි වැනි බෝග වගාවන් පිළිබඳ තොරතුරුසේම ඒවා වගා කරන ආකාරය සහ ඒවායින් අතුරු නිෂ්පාදන සකසා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම පිළිබඳ කතා කිරීමට බලාපොරොත්තු වෙමු.

එතෙක් ප්‍රයෝජනවත් යමක් කරමින්, ජීවිතය ජයගන්නට ඔබේ නිර්මාණශීලී බව යොදාගන්නේ කෙසේද යන්න ගැන සැලසුම් සකස් කරමින් පරිස්සමට නිවෙස් තුළම රැඳෙන්න. මේ ගෙවන දුෂ්කර කාල වකවානුවේ ඔබ සහ ඔබේ සමීපතමයන් ආරක්ෂා කරගන්න. මේ කිසිම දෙයක් හැමදාම පවතින්නේ නැත. අවශ්‍ය වන්නේ අප පරෙස්සමින් සහ ඉවසීමෙන් ඒ දවස උදාවන තෙක් බලාපොරොත්තු අත් නොහැර බලාසිටීම පමණි.