ගෙමිදුල සොඳුරු කුරුලු උයනක් කරගනිමු

සැප්තැම්බර් 29, 2021

 

ඉවත දමන පොල් ලෙලි, කොහු ලණු, උණ බට, දැව කැබලි ආදියෙන් විතරක් නෙමෙයි විවිධාකාරයේ මැටි බඳුන් ලස්සනට වර්ණ ගන්වා මේ අපූරු නිවාස සකසා ගත හැකියි.

නොසිතූ නොපැතූ මොහොතක පැමිණි කොරෝනා වසංගතය හමුවේ අපේ නිදහස සීමා වුණු බව බොහෝ දෙනකුට දැනෙනවා ඇති. යාළු මිතුරු ඇසුර, නෑදෑ සබඳකම් පමණක් නොව ගමන් බිමන් පවා සීමා කරමින් වැඩි වේලාවක් නිවෙස් තුළම රැඳෙන කාලවකවානුවකි මේ.

 

ඒ නිසාමදෝ බොහෝ දෙනෙකු තමන්ගේ දරු පවුලත් එක්ක නිවෙසේ එහෙමත් නැතිනම් ගෙවත්තේ වැඩ කටයුතුවල යෙදෙන්නට පටන් අරන්. එමඟින් තමන්ගේ මනසට දැනෙන ඒකාකාරී බව අඩු කරගන්නවා විතරක් නෙමෙයි සොබා දහමේ චමත්කාරය අපූරුවට වින්දනය කරනවා.

 

මොහොතක් හිතන්න....නොනවත්වාම ඇහෙන කුරුලු කිචිබිචිය, ලතාවකට සෙළවෙන ගහකොළ, පිපී දිලෙන මල් වල රොනට ඇදෙන සමනලුන්, බඹරුන් මේ සියල්ල ඇසුරේ ඔබේ සිත මොනතරම් සැහැල්ලුවට පත් වේවිද ?

 

හිතන්න දෙයක් නෑ. මෙන්න මේ වාගේ හරි අපූරු කුරුලු ගෙවල් කීපයක් ඔබේ ගෙවත්තටත් එකතු කරන්න පුළුවන් නම් ඇත්තටම සොඳුරු පරිසරයක් නිර්මාණය කරගැනීම එතරම් අපහසු නැහැ.

 

විශේෂයෙන්ම ඉවත දමන පොල් ලෙලි, කොහු ලණු, උණ බට, දැව කැබලි ආදියෙන් විතරක් නෙමෙයි විවිධාකාරයේ මැටි බඳුන් ලස්සනට වර්ණ ගන්වා මේ අපූරු නිවාස සකසා ගත හැකියි. ඒ වාගේම මේ දවස්වල ඒකාකාරී ජීවන රටාව නිසා හෙම්බත් වෙලා ඉන්න අපේ පොඩිත්තන් ටිකත් මේ වැඩේට එකතු කරගත්ත නම් එයාලටත් හරි සතුටක් ලැබේවි. ඒ විතරක් නෙමෙයි ගහට කොළට සතා සීපාවාට ආදරේ කරන සෞන්දර්යයවාදී දරුවකුත් නොදැනීම බිහිවේවි.