හඳහන නැති අයට අංක විද්‍යාව පිහිටට ඉන්නවා

නොවැම්බර් 22, 2018
 
ගත වී යන, උදා වන හැම තත්පරයකම වටිනාකමක් රැඳෙනවා. ඇත්තෙන්ම අද දවස වගේම හෙට දවසත් හිතට ගෙන දෙන්නේ නැවුම් බලාපොරොත්තු.
 
ඔබ ඒ පැතුමන්, අරමුණු එකිනෙක ජයග්‍රහණය කරගන්න නොකරන දෙයක් නැහැ නේද? ඇත්තටම අනාගතයේ වෙන්නෙ මොකක්ද? කොහොමද වෙන්නෙ කියලා දැනගන්න කාගෙ කාගෙත් යටි සිත උනන්දුයි.
 
මේ කාරණාවේදී ජ්‍යෝතිෂයෙන් ලැබෙන පිටිවහල අතිශය වැදගත්. ඒත් හැමෝටම කේන්දරයක් එහෙමත් නැත්නම් හඳහනක් නැහැනෙ.
 
මේ පිළිබඳ අපේ ආදරණීය තරුණී පාඨකයෝ විමසීමක් කළා. ඉතිං ඔබේ සිතට සැනසුම් පිළිතුරක් ජනප්‍රියම ජ්‍යෝතිර්වේදී මංජුල පීරිස් ලබා දුන්නේ මෙලෙසිනි.
 
ශ්‍රී ලංකාව පමණක් නොව සමස්තයක් ලෙස ලෝකයේ අනෙක් රටවල් ගත්තත් හැමෝටම කේන්දර නැහැ. නමුත් මේ සෑම පුද්ගලයෙක්ම තමන්ගෙ අනාගතය ගැන දැනගන්න හරි කැමැතියි. එමඟින් අනාගතය සැලසුම් කරගන්න කැමැතියි. සිංහලයා ජීවත් වන්නේ බලාපොරොත්තුත් එක්ක. එයාලට සිහින තියෙනවා. හෙට දවස, බලාපොරොත්තුව කලින් දැන ගන්න පුළුවන් නම් ඒත් එක්ක තමයි දවසින් දවස රැය පහන් වෙන්නේ.
 
මේ අතර යමෙක් දුක්වෙන්න පුළුවන් අනේ මගේ මවුපියන් මම උපන් වෙලාවට කේන්දරයක් හදලා නැහැ කියලා. ඒත් මෙවැනි අයටත් අනාගතය සැලසුම් කරගන්න මොකක් හෝ ක්‍රමවේදයක් තියෙන්න ඕනෙ.
 
අපි උපන් දා පටන් දණ ගාලා, බඩ ගාලා, බිත්ති අල්ලන් නැගිටින්න උත්සාහ ගන්නවා. පුංචි අවධියේ පටන් වැඩිහිටියකු වනතෙක්ම ගොඩනැගෙන්න කුමන හෝ සහයෝගයක් අවශ්‍යයි. අම්මා තමයි පළමුවැනිම සහයෝගය ලබා දෙන්නෙ. අඩියක් උස්සා අඩියක් තියන්න වාරු දෙන්නෙ අම්මයි. මේක මිනිසුන්ට පමණක් ආවේණික සිදුවීමකුත් නොවෙයි. කුරුලු අම්මා කුරුලු පැටවුන්ට පියාඹන්න පුරුදු කරනවා. සෑම සත්ව ලෝකයකම මේ වගේ අලුත් පියවරක් තබන්න උදවුවක් ඕනෙමයි.
 
දරුවකුට දෙවැනි සහයෝගය හිමි වෙන්නේ ගුරුවරයාගෙන්. සිප් සතර කියලා දීලා, ඇස් පාදලා දරුවාට යා යුතු හරි මඟ පෙන්නලා දෙනවා. ඒත් යම් තැනකදී තමන්ගෙ ජීවිතය තමන්ටම බලාගන්න වෙනවා.
 
තවදුරටත් ජීවිතය සැලසුම්කර ගැනීම ඔහු සතු දෙයක්. ඔහුගේ නිර්මාණ තුළ ඔහු විසින් අනාගතය දකිනවා.
 
මෙතැනදි බොහෝ දෙනෙක් මංමුලා වෙනවා. ඔවුනට තමන්ගෙ ජීවිතයේ හැරයුම් ලක්ෂ්‍ය තීරණය කරගන්න බැහැ. අන්න එවැනි අවස්ථාවක ජ්‍යෝතිශයේ පිහිට අතිශය වැදගත්. ජීවිතයට ලොකු අත්වැලක් ලැබෙනවා.
 
ඒත් ලෝකය විවිධාකාරයි. ඒ ඒ පුද්ගලයා තුළ ඇත්තේ විවිධ බුද්ධි මට්ටම්. හිතන්න අරළු ගෙඩිය බුළු වන්නෙත් නැහැ බුළු අරළු වන්නෙත් නැහැ. ඒ වගේ අපි හැම විටම උපදේශයක් ලබා ගන්නා විට තමන්ගෙ බුද්ධියෙනුත් තෝරා ගන්නා දේ කෙරෙහි සැලකිලිමත් වෙන්න ඕනෙ.
 
උදාහරණයක් ලෙස වෛද්‍යවරයකු ගත්තොත් ඒ ඒ රෝග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. නමුත් උගත් දේ, පෙර ආත්මභවයේ සිදුවීම් සහ තමාලත් අත්දැකීම්, දෙස් විදෙස් අධ්‍යාපනය ප්‍රගුණ කිරීම වැනි හේතු මත වෛද්‍යවරයාගේ දක්ෂතාවය වෙනස් වෙන්න පුළුවන්.
 
මේක ගුරු වෘත්තිය, ඉංජිනේරු වෘත්තිය මෙන්ම ජ්‍යෝතිර්වේදය ආදි සෑම ක්ෂේත්‍රයකටම පොදුයි.
 
කවුරු කවදා කොතැනකදී උපදෙසක් ලබා දුන්නත්, එය අප පිළිගත යුත්තේ අපේ බුද්ධියෙන් ද විමසා බැලීමෙන්.
 
අප වටා ඉන්නා බුද්ධිමතුන්, මාපියන්, සහෝදර සහෝදරියන්, හිතවතුන්ගෙන් විමසා සාකච්ඡා කරලා යම් විසඳුමකට එන්න පුළුවන්.
 
එසේ නම් ජ්‍යෝතිර්විද්‍යාවෙන්ද හෙට දවස කල්තියාම දැන ගෙන ඔබට යහපතක් නිසැකවම උදාකර ගත හැකියි.
 
හිතන්න හෙට දවසේ ඔබට රිය අනතුරක අවදානමක් පෙන්නනවා කියලා. ඉතිං ඔබට මහ මඟ වෙනදාට වඩා ප්‍රවේසම්ව යා හැකියි. රිය පැදවීමේ දී වේගය අඩුකරගෙන යන්න පුළුවන්. ඉවසීමෙන් කටයුතු කරන්නට සිහි තබා ගන්න පුළුවන්. ඒ වගේ හෙට වන දේ අද දැන ගෙන ඒවා වළකාගන්නට යම්කිසි ක්‍රමවේද අනුගමනය කළ හැකියි.
 
අතීතයේ සිදුවූ දේත්, අනාගතයේ සිදුවන දේත් කිව හැකි එකම ශාස්ත්‍රය ඡ්‍යොතිශාස්ත්‍රයයි. අද ලෝකයේ විවිධ රටවල විවිධ ක්‍රමවලට මේ ශාස්ත්‍රයේ ප්‍රයෝජන ගන්නවා.
 
ලෝකයේ පහළ වූ විද්වතුන්ට, මහාචාර්යවරුන්ට මෙන්ම ජනාධිපතිවරු, අගමැතිවරු ඇතුළු ප්‍රභූවරුන්ට ඡ්‍යොතිශාස්ත්‍රය තුළින් පළ කළ අනාවැකි සත්‍ය වී ඇති බව පර්යේෂණ මගින් සොයාගෙන තියෙනවා.
 
ඔබ හිතනවා ඇති සිංහල බෞද්ධයා පමණයි මේ ජ්‍යෝතිශාස්ත්‍රය ගැන විශ්වාස කරනුයේ කියා. එය නිවැරැදි නොවේ. අද දමිළ, මුස්ලිම්, බර්ගර් වැනි ජාතිකයින්ද තමන්ගේ දෛවය ගැන උනන්දු වෙනවා.
 
එහෙත් ඇතැමුන්ට උපන් වෙලාවට අනුව සෑදූ වේලාපත්කඩක් නැහැ.
 
මෙතරම් දියුණු ලෝකයක ඔවුන්ගේ මේ ගැටලුවට පිළිතුරක් නැති විය නොහැකියි. ඇත්තටම එවැනි අයට ‘අංක විද්‍යාව‘ හොඳ පිළිසරණක් වෙනවා. මෙමඟින් පලාපල කියන්නට හැකියි.
 
මේ මුළු ලෝකයම අංක 1 සිට අංක 9 ට ඇතුළත් වෙනවා. අපි කෝටිය ලිවුවත්, ප්‍රකෝටිය ලිවුවත් මේ අංක නවයට තමයි ඇතුළත් වන්නේ.
 
එසේ නම් මේ අංක 1 සිට අංක 9 දක්වා ඇති තතු තුළින් යමකුගේ ජීවිතය ගැන ප්‍රමාණවත් විස්තරයක් ලබා ගත හැකියි.
 
දරුවකුට නම් තබන්න, උසස් අධ්‍යාපනය කෙබඳුවේද? අනාගතයේ කුමන වෘත්තිකයකු වේද, විවාහය, දියුණුව මේ සියල්ලට අංක විද්‍යාවෙන් පලාපල ලබා ගන්න පුළුවන්.
 
එසේ නම් ඔබේ හෙට දවස ඔබටම දැන ගන්නට හැකියි. අංක විද්‍යාව තුළින් අනාගතය හෙළි දරව් කරගත හැකි වනුයේ කෙසේදැයි ඉදිරි සතියේ දී බලමු.