2019 ඔබට කොහොමද

ජනවාරි 2, 2019

දින, සති, මාස ගත වී පරණ අවුරුද්ද ගෙවී ගියේය. ඉඳින් උදාවන හෙට දවස අවිනිශ්චිතය. එහෙත්, 2018 වසර ගැන විස්මිත අනාවැකි පලකරමින් ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී මංජුල පීරිස් ඔබට කී දේ මතකද?

දේශපාලන කේෂ්ත්‍රයේ ගැටුම්, ක්‍රිකට් ක්‍රීඩා කේෂ්ත්‍රයේ සිදුවන හැල හැප්පීම් ගැන.... මමත්වයෙන් තොරව අපේකම වෙනුවෙන් හඬනගන්න යැයි එතුමන් අවධාරණය කළා.

පසුගිය වසරේ පමණක් නොව ඊට පෙරත් ජ්‍යෝතිෂය පිළිබඳ ශාස්ත්‍රීය දැනුමත්, සහජ හැකියාවත් මතින් විස්මිත අනාවැකි පැවසු මංජුල පීරිස් සැබැවින්ම ආශ්චර්යය ජනකය.

තවමත් ලංකාවේ අංක 01

ඡ්‍යෝතීර්වේදියා ලෙස කිරුළු පලන් එතුමන් උදාවන 2019 නව වසර ලක්වාසී ඔබ සැමට බලපාන අන්දම පැවසු අයුරුයි මේ.

2019 වසරේ,

අර්ධ සූර්ය ග්‍රහණය - ජනවාරි 05

පූර්ණ චන්ද්‍ර ග්‍රහණය -

ජනවාරි 21

පූර්ණ සුර්ය ග්‍රහණය - ජුනි 03

අර්ධ චන්ද්‍ර ග්‍රහණය - ජුලි 17

වලයාකාර සූර්ය ග්‍රහණය - දෙසැම්බර් 26

දිනයන් හි සිදු වේ.

2019 වසර ආරම්භයේ දීම බුද්ධියට අධිපති බුධ ග්‍රහයා පරාජයට පත් වේ. සෙනසුරු සහ බුධ යුද වැදී එම යුද්ධයෙන් සෙනසුරු ජය ගනී. මෙලෙස වසර ආරම්භයේ දීම බුද්ධිකාරකයා සහ දරුවන් නියෝජනය කරන බුධ ග්‍රහයාගේ පරාජයන් සමඟ ඉගෙනුම් වයසේ සිටින පුතුන්ට මේ වසර ඉතාමත් අසුබ වේ. එබැවින් මවුපියන්ට දරුවන වෙනුවෙන් ලොකු වගකීමකින් කටයුතු කරන්නට සිදු වේ.

වෛද්‍යවරුන්ට සොයා ගත නොහැකි, කිසිදා කිසිවෙක් අසා දැක නැති වසංගත රෝගයක් ව්‍යාප්ත වේ.

රටේ පවතින නීතිය ගැන මිනිසුන් නොතකා තනි මතයට කටයුතු කිරීම නිසා නීතියේ ආධිපත්‍යයට විශාල හානියක් සිදු වේ.

රට සංවර්ධනය කරගැනීමට අයෝජකයන් ගෙන්වා ගැනීමත්, පවතින රජයට විදේශ ආධාර විශාල ලෙස ලබා ගැනීමටත් හැකි වේ. එබැවින් රට තුළ විශේෂ සංවර්ධනයක් සිදුවන බව පෙනී යයි.

වසර මැද භාගයේ දී සියලු දෙනාගේ කතා බහට ලක්වන ප්‍රබල දේශපාලන නායකයකුට අපල කාලයක් උදා වේ.

සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසුව රටේ අති ප්‍රබල බුද්ධිමතුන්, දැනුම් සම්භාර ගබඩා කරගත් ඇවිදින පුස්තකාල හා සමාන බුද්ධිමතුන්ට අපල කාලයක් උදා කරයි. ඔවුන්ට අපවාද, චෝදනා පමණක් නොව, වියෝවයන් ද ගෙන දෙන කාලයක් බවට පත් වේ.

ජුනි මාසයේ සිට යළිත් දේශපාලන කරළියේ යම් යම් උණුසුම් වාතාවරණයන් ගැන වාර්තා වේ. අගෝස්තු මාසයේ මැද භාගයේ දී සියලු දෙනාගේ කතා බහට ලක්වන ආන්දෝලනාත්මක දේශපාලන සිදුවීම් පෙළක් සිදුවන කාලයක් උදා වේ.

මේ වසරේ දී අඹු සැමියන් අතර පවතින්නා වූ, අසමඟිය නිසා දික්කසා ද නඩු වැඩි වේ.

2019/01/02 තරුණි පුවත්පත බලන්න.