විෂම භාවයන් ද වාස්තු දෝෂ වේ

පෙබරවාරි 27, 2019

කුමන හෝ දෙයකින් “විෂම” වීම යනු ස්වභාව ධර්මයට සහ අපගේ ජීවන රටාවට අනුගත නොවන දෙයකි. “විෂම බිමක්” වුවද නිවෙසක් ඉදිකිරීමට නුසුදුසු බව ඔබත් දන්නා කාරණයක්. මෙවන් ඉඩමක එම හැඩයටම නිවෙසක් ඉදිකිරීම යනු විවිධාකාරයේ ගැටලු ඇතිකරන දෙයක්.

මෙවන් බිමක් පවතී නම් එය සුදුසු පරිදි සකසා ගැනීමෙන් පසුවයි ඉදිකිරීම් කටයුතු සිදු කළ යුත්තේ.

සරලව කීවොත් විෂම හැඩතල කිසිවක් ඉඩමකට හෝ ඒ අනුව නිවෙසට තිබීම නුසුදුසු දෙයක්.

මෙම කාරණා සලකා බලන විට තිරස් මට්ටමේ දී (ඒ කියන්නේ අත්තිවාරම් හැඩතල සහ මායිම් හැඩතල ආදිය) සෘජුකෝණාශ්‍රාකාර පවතින පරිදි සහ සිරස් තලවල දී (ඒ කියන්නේ බිත්ති සහ වහලය ආදිය) බොහෝ දුරට සෘජුකෝණාශ්‍රාකාර සහ ත්‍රිකෝණාකාර හැඩයන්ගේ එකතුවක් ලෙස තිබීම සුදුසු දෙයක්.

ඉදිකරන ලද නිවෙසක් දෙස බැලීමෙන් ඔබට මෙම කාරණාවන් පහසුවෙන් වටහා ගත හැකියි. මේ ආකාරයේ සරල හැඩතල මඟින් නිවෙසක් පිළියෙල කරගැනීම සෑම අතින්ම සුදුසු වන දෙයක්.

එමඟින් නිවෙස ඇතුළත පවතින ඉඩකඩ හිරෙන්නේ නැතිව මනා ඉඩකඩක් පෙනෙන ආකාරයට අංග පිළියෙල කර ගැනීමට හැකි වීමත්, එලෙසම අපතේ යාම අවම වන පරිදි පොළොව ටයිල් කර ගැනීමත්, සංකීර්ණ නොවන පරිදි පහසුවෙන් වහලය ගැසීමට හැකි වීමත් යනු සරල උදාහරණ කීපයකි.

වාස්තු විද්‍යාව අංශයෙන් සලකා බැලූ කල නිවෙසක වර්ගඵලය පිළියෙල කර ගැනීමේ දී මෙම සෘජුකෝණී හැඩතල අනුගමනය කිරීම අත්‍යවශ්‍ය දෙයක්.

විෂම හැඩ අධික පොළොවක, විෂම බිත්ති සහිතව සෑදු නිවෙසක ජීවත් වීම යනු බොහෝ දුරට නිවැසියන්ගේ මානසික ඒකාග්‍රතාවය ගිලිහී යාමටත් හේතුවක්.

නිතරම මනසට යම් පීඩාකාරී - ගැටලුකාරී තත්ත්වයකින් කල් ගෙවීමට සිදුවිය හැකියි.

නිවැසියන් තුළ එකිනෙකාට නො ගැළපෙන පරිදි විවිධ අදහස් ඇතිවීම තුළින් දෛනික වැඩකටයුතු අඩාල වීම කෙරෙහි ද යම් බලපෑම් එල්ල විය හැකියි.

 

2019/02/27 තරුණි බලන්න.