වසරකට වරක්වත් නිවෙස අලුත්වැඩියා කරගන්න

අප්‍රේල් 3, 2019

ෆෙංෂුයිවලදී නිවෙසේ වයඹ ස්ථානය ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නේ එය, නිවෙසේ පියාගේ වාසනාව පවතින ස්ථානය බවට චීන ජාතිකයින් පවා තදබල ලෙස විශ්වාස කරන නිසයි.

මොකද නිවෙසේ පියා කියල කියන්නේ එයා පවුලේ ගෘහ මූලිකයානේ. පියාගේ වාසනාව නැති වී ගියොත් හෝ එහෙම නැත්නම් ඒ වාසනාව අඩුවී ගියොත් එය මුළු පවුලටම අහිතකර ලෙස බලපාන නිසා තමයි චීන ජාතිකයින් නිවෙසේ වයඹ දිසාව ගැන වැඩි සැලකිල්ලක් දක්වන්නේ.

ඔබත් ඔබේ නිවෙසේ වයඹ දිශාව බලවත් කරන්න. ප්‍රබල පුද්ගලයින්ගේ සහ අන් අයගේ සහයෝගය සහ ආකර්ෂණය ඔබට වැඩියෙන් හිමිවෙන බව එහිදී ඔබට අත්දකින්න පුළුවන්.

අපි බලමු වයඹ දිශාව බලවත් කරගන්නේ කොහොමද කියන කාරණය ගැන. මෙන්න මේ කරුණු විශේෂයි.

 

1. වයඹ දිශාවේ අනවශ්‍ය බඩුබාහිරාදිය, ලට්ට ලොට්ට කැළි කසළ ආදිය තියන්න එපා.

2. කැඩුණු බිඳුණු බඩු, අක්‍රීය විදුලි උපකරණ ආදිය වයඹ දිශාවට අසුබයි.

3. වයඹ ඉතා පිරිසුදුව, පිළිවෙළට තබාගන්න හැමවිටම මහන්සි ගන්න.

4. ඔබේ නිවෙසේ වයඹ දිශාවේ තිබෙන්නේ, ගබඩා කාමරයක් නම්, එයට ලෝහ බඩු බාහිරාදිය වැඩිපුර දමන්න. නමුත් මතක තබාගන්න, මම මේ කිව්වේ අනවශ්‍ය ලට්ට ලොට්ට හා කැඩිච්ච, බිඳිච්ච විදුලි උපකරණ ආදිය ගැන නම් නෙමෙයි. ගබඩා කාමරය වුණත් ඉතා පිරිසුදුව තබාගන්න.

5. වයඹ දිශාවේ යකඩ වැඩි කරන්න. ඔබේ නිවෙසේ වයඹ දිශාවේ තිබෙන්නේ කාමරයක් නම් එම කාමරයට යකඩ ඇඳක්, යකඩ අල්මාරියක්, පිත්තල පහන්, විදුලි උපකරණ ආදිය හොඳින් ගැළපේ.

6. හැබැයි, වයඹට ගින්දර අශුභයි. කුස්සිය තිබෙන්නේ වයඹ දිශාවේ නම් ළිප වෙනත් තැනකට ගෙනියන්න.

7. සුළඟට සෙලවී නාද දෙන බට හයක් සහිත වින්ඩ්චයිම් සීනුවක් නිවෙසේ වයඹ දිශාවෙන් එල්ලන්න. ඒවායින් නිකුත් වෙන ලෝහ ශබ්දය නිවෙසේ වාසනාව වැඩි කරනවා.

8. සුදු හෝ කහ පාට නැවුම් මල් ලෝහ බඳුනක දමා නිවෙසේ වයඹ දිශාවේ තබන්න. හැබැයි ඒ මල් පරවූ විගස වහා ඉවත්කර නැවත නැවුම් මල් එහි තබන්න. පරවූ මල් නිවෙසට අශුභයි.

9. ඔබේ නිවෙසේ හෝ ව්‍යාපාරයේ ප්‍රධාන දොර විවෘත වෙන්නේ වයඹ දිශාවට නම් එම දොරේ කුඩා සීනු කිහිපයක් එල්ලන්න. දොර අරිනවිට ඇතිවෙන සීනු නාදය නිවෙසට/ව්‍යාපාරයට සෞභාග්‍ය සහ වාසනාව එක් කරනවා.

10. ගින්දර වයඹට අශුභ නිසා වයඹ දිශාවේ පහන් හෝ රතු බල්බ් පත්තු කරන්න එපා.

11. බඩු බාහිරාදිය, ඇඳ ඇතිරිලි, ජනෙල් හා දොර රෙදි ආදිය රතු වර්ණයෙන් තෝරාගන්න එපා. නිවෙසේ වයඹ දිශාවට රතු වර්ණය හැකිතාක් අවම කරගන්න. අඩුවෙන්ම පාවිච්චි කරන්න. පාවිච්චි නොකරන තරමට හොඳයි.

12. ඔබ අලුත් නිවෙසක් සාදන්නේ නම් කුස්සිය වයඹ දිශාවේ නොතැබීමට පරෙස්සම් වෙන්න.

13. බට්ටෙක් සහිත ඔරලෝසුවක් වයඹ දිශාවට ඉතාම සුබයි.

නිවෙසේ වයඹ කොටස අහිමියි නම් හෝ අඩුයි නම් එම නිවෙසේ ගෘහමූලිකයාගේ හෝ එහෙම නැත්නම් පියාගේ හෝ සැමියාගේ වාසනාවත්, බලයත් අඩුයි.

නිදන කාමරයේ රූපවාහිනිය පවුල් ජීවිතයට බාධාවක්

යුවළක් නිදාගන්න ඇඳට ඉදිරියෙන් රූපවාහිනිය තිබේනම් එය ඔබ දෙදෙනාගේ පවුල් ජීවිතයේ සමගිය අඩු කිරීමට හේතු වෙනවා.

නමුත් නිදන කාමරයට රූපවාහිනිය අත්‍යවශ්‍යයි කියලා ඔබ හිතනවා නම්, ඔබ නිදාගන්නා විට රූපවාහිනිය රෙද්දකින් වසා දමන්න. ඒ වගේම රූපවාහිනිය නිරිත දිශාවට මුහුණලා නැති බවට සහතික කරගන්න.

නිදන කාමරයේ රූපවාහිනිය තැබීමට සුදුසුම ස්ථානය වන්නේ කාමරයේ වයඹ දිශාවයි. ගිනිකොණ දිශාවට රූපවාහිනිය මුහුණලා වයඹ දිශාවේ රූපවාහිනිය තබන්න. එහිදී නිදන කාමරයට රූපවාහිනිය තැබීමෙන් සිදුවෙන හානිය අවම කරගන්න පුළුවන්.

2019/04/03 තරුණි පුවත්පත බලන්න