සිංහල අලුත් අවුරුද්ද ඔබට කොහොමද?

ප්‍රවීණ ඡ්‍යොතිෂවේදිනී චින්තා වික්‍රමසිංහ
අප්‍රේල් 10, 2019

2019 වර්ෂයේදී සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට අවතීර්ණ වන්නේ අප්‍රේල් 14 වැනි දින ප.ව. 2 මිනිත්තු 09ටයි. කටක ලග්නයෙන් අස්ලිය නැකැතින් මීන නවාංශකයෙන්ද වජ්‍රක යෝගයෙන්ද නව අලුත් අවුරුද්ද උදාවේ. රවි ග්‍රහයා සමඟින් මේෂ රාශිියේද, කුජ ග්‍රහයා

වෘෂභ ග්‍රහයා සමඟින් ද රාශිගත වේ.

රාහු මිථුන රාශියටද සඳු ග්‍රහයා කටක රාශියේද කේතු-ශනි-ගුරු ග්‍රහයන් ධනු රාශිගතවද සිකුරු ග්‍රහයා කුම්භ රාශියේද බුධ ග්‍රහයා මීන රාශියේද එකවිට ගමන් කරන ග්‍රහචාර වේ. එතැන් පටන් ඉදිරියට ඔබේ ලග්නයට කෙසේදැයි බලමු.

 

 

 

මංගල යෝජනා ස්ථිර වේ

මේෂ

ඔබේ ලග්නාධිපති කුජ ග්‍රහයා 2 වැන්නේද රවි ග්‍රහයා ලග්නගතවද ගමන් කරයි. අලුත් ආරම්භයකට සුදුසු වන කාලයකි. ඉදිරියට අලුත් වැඩ කටයුතු කීපයක් කරගත හැක. යන්ත්‍ර සූත්‍ර ආදී වැඩ කටයුතු කරන අයට ගුණදායකයි. පුණ්‍යකාමී සිතිවිලි ඇති කරන අතර සියලු දෙනා සමඟ එකමුතුව කටයුතු කළ හැක. නව නිවාස සෑදීමටද ශූභදායකවේ. ඔබ එඩිතරව තීරණ ගන්නා කාලයකි. විශේෂයෙන් කාන්තාවන්ට මෙම වසර උද්යෝගයෙන් කාලය ගෙවීමට හැකියාව ඇතිවේ. අධ්‍යාපන කටයුතු ආරම්භයට මෙන්ම ඒ සම්බන්ධ රටින් පිටව යාමට කරුණු ඇති වේ. කල්ගිය මංගල යෝජනා ස්ථිර වීමට වසර මැද කාලය ගුණ දේ. සහෝදරයකු නිසා ගැටලුවක් හෝ නීති ප්‍රශ්නයකට මුහුණ දීමටද සිදුවේ. නමුත් වසර අවසානය ඔබට සතුට, පී‍්‍රතිය ගෙන දෙන කරුණු කීපයක් ඉටු වේ. ව්‍යාපාරික කටයුතු ඇරඹීමට ශුභ කාලයක් වේ. රැකියා කටයුතුවලදී සාර්ථකත්වයට ශුභඵලදායක වසරකි.

කතරගම දෙවියන්ට පහන් දල්වා කන්නලව්කර සතුන් නිදහස් කරන්න.

 

ව්‍යාපාරවලින් ජය ලැබේ

වෘෂභ

ඔබගේ ලග්නාධිපති සිකුරු 10 වැන්නේද රවි ග්‍රහයා 12 වැන්නේද බලවත්ව ගමන් කරයි.

ආදායම් තත්ත්වය වරින්වර ඉහළ පහළ යන වසරකි. අෂ්ටම ඒරාෂ්ටකව මෙම වර්ෂය ද ගෙවී යයි. නිතර කලබල වන ගතිය නිසා ගැටලුම් ඇතිවීමට ඉඩ තිබේ. මානසික අසහනකාරී තත්ත්වයක් මතු විය හැක. ලෞකික සැපසම්පත්වල ගිජුකමක් ද ඇතිවිය හැක. අලංකාර ව්‍යාපාරකිරීම රූපලාවණ්‍ය හෝ රසවත් ආහාර වෙළහෙළඳාම් කරන අයට ගුණ දේ. අගෝස්තු, සැප්තැම්බර් මාසවල අලුත් කටයුතුවලට හෝ රටින් පිට යාමටද ඔබට අවස්ථාවක් සැලසේ. දරුවකු වෙනුවෙන් අධික මුදලක් වැය වේ.

ඥාතීන්ගේ ගැටලුවලට මුහුණ දීමට හා ඔවුන්ට උදවු කිරීමට යාමෙන් ප්‍රශ්න පැන නඟී. තම නිදහස හා තම පාඩුවේ වැඩකටයුතු කරගෙන යාමට සිතට ගන්න. පවුලේ දියුණුව මන්දගාමීව සිදුවේ. මංගල යෝජනා බාධාගෙන දීමට ද හේතුවේ. තම සහෝදරියකගේ දියුණුව පිළිබඳ සතුටුවිය හැකි අවස්ථා ලැබේ. අධ්‍යාපනයට ශුභඵලදායක කාලයකි. නමුත් සුළු සුළු රෝග තත්ත්වයන් නිසා බාධා ගෙන දීම් වැඩි වේ. ශනි කේතුª රාහු ද හා ගෙවන්නන්ට තරමක් ප්‍රශ්න මතු කරයි. ඉවසීමෙන් හා බුද්ධියෙන් කටයුතු කළයුතු අවුරුද්දකි.

දුර්ගා හා ලක්ෂ්මී දෙවියන්ට පහන් දල්වා කන්නලව්කර කිරි අම්මා දානවලට සහභාගී වන්න.

 

නව රැකියා අවස්ථා උදාකරයි

මිථුන

ලග්නාධිපති බුධ ග්‍රහයා 10 වැන්නේ ද, රවි ග්‍රහයා 11 වැන්නේද ගමන් කරයි.

උනන්දුව හා අවධානයෙන් යුතුව කටයුතු කරන නිසාම ජය ලබාගත හැක. එඩිතරව ගන්නා තීන්දු තීරණ නිසා තරමක්, බාධක ද යෙදෙයි. නමුත් සියල්ල අභිබවා ඉදිරියට යයි. ආදායම් ලැබීම ද ප්‍රමාණවත්ය.

නව නිවාස වැඩ හෝ එමඟින් අමතර වාසි ලැබෙන කාලයකි. ගේදොර කුලියට දීම් මිලදී ගැනීම් ඇති කරයි. තරුණ තරුණියන්ට මංගල යෝග යෙදේ. විශේෂයෙන් විදේශගත වී සිටින්නන්ට ලැබීම් වැඩි වේ. තම අලංකාරය ගැන වැඩි පුර සැලකිලිමත් වේ. වසර අවසානය ඉතාම ශුභ දායක තත්ත්වයන් ඇති කරයි. උසස් අධ්‍යාපනය මෙන්ම අලුත් රැකියා කටයුතු කිරීමට ද අවස්ථාව සැලසේ. තරුණ තරුණියන්ට වාසනාව උදාවේ. මංගල කටයුතු මනාව සැලසේ. පොත්පත් ලිපි ලේඛන සකස් කරන්නන්ට ද අලුත් වැඩ කීපයක් කරගත හැක. දේශපාලනයෙන් යෙදෙන්නන්ට වැඩි වාසි සැලසේ. අලුත් අමුත්තන්ගේ සහය ලැබේ. දරුඵල ලබන්නන්ට වාසනාවන්ත දූදරුවන් ලැබේ. මැයි සිට අගෝස්තු දක්වා කාලය තරමක් බාධා ගෙනදේ. කේතු, කුජ දශා ගෙවන අයට පාද ආශි‍්‍රතව හා අස්ථි රෝග සාදයි.

ගන දෙවියන්ට පහන් දල්වා පින් අනුමෝදන්කර අධ්‍යාපනය ලබන දරුවන්ට පතපොතින් සංග්‍රහ කරන විට අපල අවම වේ.

 

රැවටිලිවලට හසු වේ

කටක

ඔබගේ ලග්නාධිපති සඳු ග්‍රහයා බලවත්ව ලග්නයේ ද රවි ග්‍රහයා 10 වැන්නේ ද ගමන් කරයි.

ලග්නාධිපති ලග්නයේ බලවත්වීම ශූභඵලදායකයි. නිතර අනුන් කෙරේ කැපවෙන තම දියුණුව අපේක්ෂා කරන වසරකි. වුවමනාවට වඩා අනුකම්පා සහගතව කටයුතු කිරීමට යාමෙන් ගැටලු මතුවේ. ඊර්ෂ්‍යාකාරයන් මතු කරයි. තරුණියන්ට ව්‍යාපාරික කටයුතු හෝ රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීමට හැකියාව පවතී. එයින් අතමිට සරුවනු ඇත. ජුනි, ජූලි මාසවලදී තරමක් ප්‍රවේශම් විය යුතුයි. අවුල් සහිත කාලයකි. ඥාතීන්ගේ ගැටලු හෝ තම ඥාතීයකුගේ වියෝවීමට ඉඩ ඇත. නමුත් තම දියුණුව පිළිබඳ හැකිතාක් වෙහෙස වන කාලයකි.

අඹුසැමියන් අතර සමගිය වර්ධනයට හේතු පාදක ඇතිවේ. නව නිවාස වැඩ කඩිනමින් කරගෙන යා හැක. යටි බඩ ආශි‍්‍රතව හෝ ගර්භාෂගත රෝග ඇති වේ. වරෙකදී ශල්‍යකර්මවලට ද මුහුණ දීමට සිදුවේ. පෙම් සබඳතාවලදී කල්පනාකාරීවන්න. රැවටිලිකාරයන් හෝ බොරුකාරයින්ගෙන් ඔබට ගැටලු පැනනඟී.

පත්තිනි දෙවියන්ට ශ්‍රී ලක්ෂ්මී දෙවියන්ට පහන් දල්වා කන්නලව්කර, ගැබ්බර කාන්තාවන්ට උවැටැන් කිරීම ආහාර පාන සංග්‍රහ තුළින් අපල අවම කරගන්න.

 

දුරබැහැර ගමන් යෙදේ

සිංහ

 

ඔබගේ ලග්නාධිපති රවි 9 වැන්නේ සඳු 12 වැන්නේ බලවත්ව ගමන් කරයි. ගෝචර ඵල අනුව දිරිමත්ව ගමන් කිරීමට හැකියාව ඇත. නව අදහස්වලින් පරිපූර්ණ වන වර්ෂයකි. මෙතෙක් කරගෙන ආ කටයුතු නව මඟකට යොමු කරගනී. පවුලේ අභිවෘද්ධියට කටයුතු සැලසේ. අමතර ආදායම් ලබාගැනීමට ද හැකියාව පවතී. දරුවන් වෙනුවෙන් යමක් කිරීමට හැකියාව ඇත. නමුත් අධ්‍යාපනයේ වෙනසක් හෝ ගැටලු මතුවීමට ඉඩ ඇත. දුර බැහැර ගමන් හෝ රටින් පිටතට යාමට හැකියාව ඇත. විවාහ අපේක්ෂකයින්ට මංගල යෝජනා සාර්ථක වීම සිදුවේ. වසර අවසානයේ දැනට වඩා ශුභ ප්‍රතිඵල ගත හැක. නමුත් රෝග පීඩා නිසා තරමක් වියපැහැදම් ඇති කරයි. උදරාබාධ අජීර්ණ ආදී රෝගවලට පහසුවෙන් ගොදුරු විය හැක. පවුලේ කෙනකුගේ අසනීපයක් උදෙසාද වෙහෙස වීමට සිදුවෙයි. වාහන ගමන් බිමින්වලදී ද හැකිතාක් ප්‍රවේශම් වන්න. කතරගම දෙවියන් උදෙසා වතාවත් කිරීමෙන් මෙම වර්ෂයේදී ශුභඵල උදාකරයි. අසරණ දරුවන්ට දානමාන දීමෙන්ද අපල අවම කරගත හැක.

 

ගෞරව, ප්‍රසංශා ලැබේ

කන්‍යා

ඔබගේ ලග්නාධිපති බුධ 7 වැන්නේ නීච වී ගමන් කරන අතර රවි ග්‍රහයා බලවත්ව 8 වැන්නේ ගමන් කරයි. කරන කටයුතුවලදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමට හැකියාව ඇත. ප්‍රශංසා, ගෞරව ලැබීමට ද හැකියාව ඇත. අතමිට මුදල්, ගුවනේ රැකියා ව්‍යාපාරවල දියුණුව ඇති කරයි. පවුලේ කටයුතු සම්බන්ධව දැඩි කැප කිරීමක් කරන අතඥර අධ්‍යාපනගේ යෙදෙන අයට ශුභඵල දේ. උසස් අධ්‍යාපනයට නිරතවීමට ද ඉඩ ලැබේ. වසර මැද ගමන් බිමන් අධිකව යෙදෙන අතර සියලු දෙනා එකමුතුව කරන කටයුතු සාර්ථක කරගැනීමට හැකිවේ. නීති ප්‍රශ්නයක් හෝ දිගුකාලීන ගැටලුවකට විසඳුමක් ලැබෙන අතර වාසස්ථාන ගැටලු විසඳා ගැනීමට ද මෙම අවුරුද්දේදී හැකියාව පවතී. පාද ආශි‍්‍රත රෝග හෝ ස්නායු ආබාධවලින් පෙළේ නම් තරමක් රෝග උත්සන්න වීමට හැකියාව ඇත. ඒ ගැන කල්පනාකාරීවන්න.

ගණ දෙවියන් නැමදීමටද නවග්‍රහයන් උදෙසා ගිතෙල් තලතෙල් පහන් දල්වා පින් දීම ද කරන්න.

අලුත් බලාපොරොත්තු ඇති කරයි

තුලා

ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයා පස්වැන්න වූ විද්‍යාස්ථානයේ ද රවි බලවත්ව 7 වැන්නේ ද ගමන් කරන ග්‍රහගෝචරය අලුත් බලාපොරොත්තු ඇති කරවයි. බාහිර බලපෑමක් පැමිණියත් එකලෙස ක්‍රියාකිරීම ඔබගේ අරමුණ වෙයි. එයින් වාසනාව පෑදේ. ගරු නම්බු ලැබීමට ද හැකියාව පවතී. ඔබගේ ආත්ම ශක්තිය කිසිලෙසකින් අඩ පණ කිරීමට ඉඩ නොදියයුතු වසරකි. සෑමවිටම සත්‍යවාදීව කටයුතුකර ඉදිරියට යයි. වියහියදම් ක්‍රමානුකූලව කරගනී. අමතර ආදායම් ලබයි. යටි කූට්ටු උපක්‍රම නිසා තම වැඩ කටයුතුවලට අවහිරතා වරින්වර සිදු වේ. විනෝදය පිණිස කටයුතු කිරීම නිසා අධ්‍යාපන කටයුතු අඩපණ විය හැක. ඒ ගැන මඳක් සිතා බලා කටයුතු කළයුතුයි. හෝටල් ව්‍යාපාර හෝ ජලය සම්බන්ධ ව්‍යාපාරවල ප්‍රගතියක් ඇති කරයි. මංගල යෝජනා ගැටලු මතුවීමට ද ඉඩ ඇත. රෝග මතුවීමට ඉඩ ඇත. තම ශරීර සෞඛ්‍යය ගැන සැලකිලිමත් වන්න.

නිතර ආගමානුකූල කටයුතු කරන්න. දානමානදී පින්කම් කිරීම ශුභදායකයි. පත්තිනි දෙවියන්ට බාරවන්න.

නීති ගැටලු පැනනඟී

වෘශ්චික

ඔබගේ ලග්නාධිපති කුජ 7වැන්නේ ද සංක්‍රාන්ති වු රවි 6 වැන්නේද ගමන් කරමින් අවුරුද්ද ඇරඹේ. පුණ්‍යගාමීව කටයුතු කළහැකි වසරකි. අනුන් ගැන නිතර සිතයි. තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් නිසි ලෙස කරයි. ගේදොර වාසස්ථාන සෑදීමද නව වසර ඇරඹීමට ද සුදුසු වේ. වෙනදාට වඩා සාර්ථකව දකී. අතමිට මුදල් ගැවසේ. දුන් ණය මුදල් ලබාගත හැක. උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු කිරීම නිසා වසර පුරාවටම ධනාත්මකතාවයක් ඇති වේ. නමුත් මංගල කරුණුවලදී සැලකිලිමත් වන්න. අඹුසැමියන් අතරද වරින්වර ප්‍රශ්න මතුවේ. ලියවිලි සම්බන්ධව හෝ නීති ප්‍රශ්නවලදීද ගැටලු පැන නගී. එබැවින් නිතර නීත්‍යානුකූලවම කටයුතු කරයි. අධ්‍යාපනයට ද ශුභදායකයි. විදේශගත වූවන්ට දියුණුව සැලසේ. වගා කටයුතු කරගන්නන්ට තරමක ගැටලු මතු කරයි. සතුරු කරදර පැනනඟී. උදරාබාධ හෝ පාද ආශි‍්‍රතව රෝග සාදයි.

කතරගම දෙවියන්ට, පත්තිනි මෑණියන්ට පහන් දල්වා කන්නලව්කර රෝගී දරුවන්ට ඇප උපස්ථාන කිරීම තුළින් අපල අවම වේ.

ජලයෙන් ප්‍රවේසම් වන්න

ධනු

ඔබගේ ලග්නාධිපති ගුරු ලග්නගතව ද සංක්‍රාන්ති වූ රවි 5 වැන්නේද ගමන් කරමින් අවුරුද්ද උදාවේ. තරමක ව්‍යාකූලව කටයුතු කළද ඉන් මිදීමට හැකියාව පවතී. කරන කියන සියලු දේ කීපවරක් සිතා බලා කටයුතු කරන්න. තරමක අලස උදාසීන ගතිද මතු කරයි. දුරදිග නොබලා කටයුතු කිරීම තුළින් පාඩු සිදුවේ. පවුලේ මෙතෙක් තිබූ ගැලටුවලට විසඳුම් සොයගත හැක. වසර මැදදී ආදායම් සරුවේ. මංගල කරුණු බාධක සහිත වේ. ඉතාම කල්පනාකාරීව මංගල කටයුතු තෝරාගත යුතුය. බොරුකාරයන්ට රැවටේ. ජල පීඩා ආදියට හේතුවේ. වතුරින් හැකිතාක් ප්‍රවේශම් වන්න. වසර අවසානයේ දී අතමිට සරුවේ. තිබුණු බාධක ඉවත් වේ. අධ්‍යාපනයට ද ශුභදායකය. ඥාතීන්ගෙන් ගෞරව ලැබීම හෝ ඔවුන්ගෙන් දායාද ලැබීමට හේතු වේ. උදාරාබාධ ඌෂ්ණ රෝග නිධන්ගත රෝගද ඇති අය කල්පනාකාරී වන්න. නිතර ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න.

නිතර බෝධි පූජා පැවැත්වීම, නවග්‍රහ දෙවියන් පිදීම හා අසරණයන්ට සරණ වීම තුළින් අපල අවම වේ.

ඉවසීමෙන් කටයුතු කරන්න

මකර

ඔබගේ ලග්නාධිපති ශනි 12 වැන්නේ ගුරු කේතු සමඟින් ද රවි ග්‍රහයා සිව්වැන්නේ ගමන් කරයි. වසර මුලදී ඔබට තිබුණා වූ යම් යම් මුදල් අහිමි වේ. ණය වීමට පවා ඉඩ ඇත. වියදම් අධික වේ. තම කටයුතු කරගැනීමට සෑහෙන්න මුදලක් අය වේ. නමුත් වසර මැද කාලයේ සිට ඔක්තෝබර් කාලයේ දී රැකියා කටයුතු යහපත් වේ. විදෙස්ගත වීමට ද හැකියාව ලැබේ. බෝකර් වැඩ හා කොන්තරාත්තු වැඩවලින් මුදල් ලබාගත හැක. වසර මුලදී කට කතා හා අසභ්‍ය වචන නිසා පවුලේ සමගියට බාධා පැමිණේ. මවුපියන්ට ද දරුවන්ගේ හිතුවක්කාරකම් නිසා කරදර විඳීමට සිදුවේ. ඔබේ උත්සාහයෙන් කටයුතු කීපයක් සාර්ථකවීමට ඉඩ ඇත. වසර අඟ කාලයේ බාහිර බලපෑම් අවම කරගෙන නව නිවාස හා ව්‍යාපාරික තත්ත්වයන් ඇතිකර ගැනීමට හැකියාව ලැබේ. නමුත් විටින් විට පවුලේ කරදර ඇති වේ. ඉවසීම හා බුද්ධිය නිතර ඔබ තුළ තිබිය යුතුය. අධ්‍යාපනය උස් පහත්ව යයි. රෝග පීඩා වශයෙන් රුධිර පීඩනය, ස්නායු දුබලතා වැනි රෝග ඇති කරයි. විශ්ණු දෙවියන්ට කන්නලව් කර දුගීමඟී යාචකාදීන්ට දන් දෙන්න.

විභාගවලින් ජය ලැබේ

කුම්භ

ඔබගේ ලග්නාධිපති ශනි 11 වැන්නේ ගුරු කේතු සමඟින් ද රවි ග්‍රහයා 03 වැන්නේ ගමන් කරයි. මෙම වසරේ පවුලේ කටයුතු විධිමත් කිරීමට හැකිවේ. දියුණුවට සමගියට බාධා නොවීම පරිසරය යහපත්වීම හා සැනසිල්ලේ කාලය ගෙවීමට හැකි වසරකි. සමාජයේ ගෞරවයට පාත්‍ර වේ. කීර්ති ප්‍රශංසා හිමිවන වසරකි. රැකියා තත්ත්වය උස් පහත් වන අතර වැදගත් කටයුතු කීපයක් සපුරා ගැනීමට හැකිවේ. හදිසි ධනලාභ සහිතය. අතිරේක ආදායම් මාර්ගවලින් ද ආදායම යහපත් වේ. තම කටයුතු ඉටුකර ගැනීම සඳහා වෙනදාට වඩා මුදල් වැය වේ. අලුත් ව්‍යාපාරයක් ආරම්භ කළ හැකි වසරකි. යාන්ත්‍රික හා කාර්මික අධ්‍යාපනය ලබන්නන්ට උසස්වීම් ලැබේ. වැඩිදුර අධ්‍යාපනයට විදෙස්ගත වීමට පවා හැකියාව ඇත. විභාගවලින් ජය ලබාගත හැක. කුජ, ගුරු දසා අතුරු දසා ගෙවන්නන්ට තුනටිය අමාරු හා වාත රෝග ඇති කරයි. බර එසවීම් හා දිවීම්, පැනීම් ආදියෙන් ප්‍රවේශම් වන්න.

විශ්ණු දෙවියන්ට කන්නලව් කර දුගීමඟී යාචකාදීන්ට දන් දෙන්න.

උරුම හිමිකම් ලැබේ

මීන

ඔබගේ ලග්නාධිපති ගුරු ශනි කේතු සමඟ 10 වැන්නේ ද රවි ග්‍රහයා දෙවැන්නේ ද ගමන් කරමින් අවුරුද්ද උදාවේ. පෙර පැවැති පරම්පරාගත උරුමයක ගැටලු නිරාකරණය වීම හා නව වාසස්ථානවල පදිංචිවීම ඇති වර්ෂයකි. විවාහ ජීවිතයේද සමගිව සිටීමට නිතර උත්සාහ ගනී. ඔවුනොවුන් අතර සබඳතාවය සමගිය වැඩි වේ. අවිවාහක අයට මංගල යෝජනා ලැබේ. විටෙක හිතුවක්කාරයට තනි තීරණවලින් මතභේද ඇති වුවත් ඒවා ඉක්මනින් සමනය වේ. නිවෙසේ කලඑළිභාවය ඇති වේ. අසල්වැසි සහය හිමිවන වර්ෂයකි. වාසනාවන්ත දරු උපත් හිමිවේ. ධනලාභ සහිතය. වසර මැද කාලයේ ජීවනෝපාය තත්ත්වය යහපත් වේ. අලුත් ආදායම් මාර්ග හිමිවේ. භූමිලාභ යාන වාහන ලැබීම් නිසා වියපැහැදම වැඩිවේ. රැකියා උසස්වීම හා ධනය ලැබීම් ඇත. අධ්‍යාපනයට සාර්ථක විසඳුම් ලැබේ. විදෙස් අධ්‍යාපනයේ නියුතු අයට උසස් ඵල නෙළාගැනීමට හැකිවේ. යටිබඩ ආශි‍්‍රතව පැවැති වේදනා නොසලකා හැරීම නිසා ශල්‍යකර්ම කිරීමට පවා සිදුවිය හැක. මුත්‍රා ආබාධ ඇතිවිය හැකි නිසා ඒ පිළිබඳ කල්පනාකාරී වන්න.

නිතර බෝධිපූජා තබා නවග්‍රහයන්ට දෙවියන්ට වැඳුම් පිදුම් කිරීම හා ආසරණ අයට සරණවීම යහපත් වේ.