නාන කාමරයටත් වතාවත්

අප්‍රේල් 24, 2019

අපි තවදුරටත් නිවාස ගැන කතා කරමු මේ සතියෙදිත්. මොකද අපි ඉන්නෙ මාලිගාවකද, එහෙම නැත්නම් අපි ඉන්නෙ පැල්පතකද? ඒ කොතැනක වුණත් අපේ නිවෙස අපිට රාජධානියක්.

ඒ රාජධානිය පුරා සතුටත්, සම්පතත් පිරී ඉතිරී තිබෙනව නම් අපේ මනසට ඒක මොනතරම් සැහැල්ලුවක් ද?

හොඳයි, මෙහෙම හිතන්න. ඔබ ජීවත් වෙන්නේ බස්නාහිර පමණක් අහිමි වූ නිවෙසක කියලා හිතන්න. බස්නාහිර අහිමි වුවත් ඔබට ගිනිකොන දිශාවෙන් ඔබේ නිවෙස සම්පූර්ණ නිසා ඔබට ධන හානියක් හෝ මුදල් ගැටලුවක් හෝ ඇතිවෙන්නෙ නැහැ.

නමුත් ඔබට ඔබේ මුදල් යම් ප්‍රමාණයකට වර්ධනය කරගත්තත් එතැනින් එහා ගිහින් ධනවතෙක් වීමට නම් ඔබට අසීරු වේවි. මොකද ඔබේ නිවෙසේ බස්නාහිර අහිමි නිසා.

සමහර අය යම් ප්‍රමාණයකට ධනවත් වුණත් ඉන් ඉදිරියට යා ගන්නට නොහැකිව ‘බ්ලොක්’ වන්නේ බස්නාහිර අහිමිවීම හෝ බස්නාහිර අපවිත්‍ර වීම නිසයි.

ගිනිකොන සහ බස්නාහිර දිශා දෙකම හිස් නොවී ඔබේ නිවෙසේ තිබෙනවා. ඒක සතුටට කාරණයක්. හැබැයි ඒ දිශාවල නාන කාමරයක් හෝ එහෙම නැත්නම් අපිරිසුදු ගබඩා කාමරයක් තිබුණොත් මොකද වෙන්නේ?

නාන කාමරයක් තිබිච්ච පලියටම එම දිශා දෙක විනාශ වෙන්නේ නැහැ. නමුත් එය ඉතා අපිරිසුදු සහ අධිකව පාවිච්චි කරන නාන කාමරයක් නම් එම දිශාවන්වල ධන වාසනාව අඩුවී යනවා.

එම දිශාවන්වල නාන කාමර පාවිච්චි කිරීම අඩුකර දැමීමෙන් සහ නාන කාමරය පිරිසුදුව වියළිව තබාගැනීමට උත්සාහ ගන්න.

 

ප්‍රවීණ ෆෙංෂුයි උපදේශක

ආසිරි වනිගරත්න

 

2019/04/24 තරුණි බලන්න