මෙහෙමත් කරලා බලන්න

මැයි 15, 2019

මුදල් ඉතිරි කිරීමත් එක්තරා කලාවක්. ඒ කලාව ප්‍රගුණ කළොත් ගොඩ. නමුත් වැඩි දෙනෙක් කියන්නේ නොකා නොබී මසුරුකමින් ඉතුරු කළොත් මිස නැත්නම් දොයිතුවක් වත් ඉතුරු කළ නොහැකි බවයි.

නමුත් මුදල් ඉතිරි කිරීමේ යම් යම් ක්‍රමවේද තිබෙන බවයි ෆෙංෂුයි ශාස්ත්‍රයෙන් කියැවෙන්නේ. බලන්න, ඔබත් ඒ ක්‍රමවේද මොනවාදැයි අත්හදා බලන්න.

මේ ඒ පිළිබඳ ආසිරි වනිගරත්න මහතා ෆෙංෂුයි ශාස්ත්‍රය අනුව දෙන උපදෙස්.

1. මුදල් ඉතුරු කිරීමට යකඩ අල්මාරියකට වඩා ලී අල්මාරියක් සුදුසුයි. ඉන්දියානු වාස්තු ප්‍රධානීන් පවසන්නේ ලී, දැව මූලධාතුවට අයත් නිසා එයින් වර්ධනය සංකේතවත් වන බවයි. එම නිසා මුදල් ඉතිරි කර ගැනීමට හෝ වර්ධනය කරගැනීමට අවශ්‍ය නම් ලී අල්මාරියකට හෝ ලී කබඩ් එකකට මුදල් දැමීම සුදුසු බව ඔවුන් පවසනවා.

මොකද මුදල් ස්පර්ශ විය යුතු වන්නේ ලීවලයි කියලයි ඔවුන් කියන්නේ.

ඔබට ලී අල්මාරියක් නැතිනම්, තියෙන්නේ යකඩ අල්මාරියක් පමණක් නම්. ලී පෙට්ටියක මුදල් දමා එම පෙට්ටිය අල්මාරිය ඇතුළේ තබන්න. සේප්පුවේ මුදල් දමනවා නම් ලෑල්ලක් තබා ඒ මත මුදල් තබන්න.

2. අල්මාරිය නැගෙනහිරට හරවන්න. එනම් අල්මාරිය නැගෙනහිරට මුහුණලා තිබිය යුතුයි. එවිට මුදල් වැයවීම අඩුවේ.

3. අල්මාරිය ලට්ට ලොට්ටවලින් තොරවිය යුතුයි. ඔබේ අල්මාරියේ පරණ ඇඳුම් (ඔබ කවදාවත් අඳින්නේ නැති) පිරී තිබෙනවා නම්, අනවශ්‍ය ද්‍රව්‍යවලින් පිරී තිබෙනවා නම් ඔබේ අල්මාරියේ වාසනාව අඩුය. එම නිසා සියලුම අනවශ්‍ය ද්‍රව්‍යයන් ඉවත්කර අල්මාරිය පිරිසුදු කරන්න. ඔබට ඇත්තටම ප්‍රයෝජනවත් වෙන ඇඳුම් සහ ද්‍රව්‍යයන් පමණක් අල්මාරියේ තබාගන්න. අල්මාරිය පිරිසුදු වෙන තරමට සහ අනවශ්‍ය ද්‍රව්‍යයන් ඉවත්වන තරමට අල්මාරියේ වාසනාව වැඩිය.

4. ඔබේ අල්මාරිය පරණ වී පළුදු වී ඇත්නම් එම අල්මාරියේ වාසනාව අඩුය. අලුත් අල්මාරියක් ගන්න. එසේත් නැත්නම් පිරිසුදු කබඩ් එකකට මුදල් දමන්න.

 

උපදෙස්

ප්‍රවීණ ෆෙංෂුයි උපදේශක

ආසිරි වනිගරත්න

2019/05/15 තරුණි බලන්න