ලග්න පලාපල

පෙබරවාරි 17, 2021

මේෂ ලග්නය

රැකියා උසස්වීම්

 

මේෂ ලග්නයට අනුව ඔබට මෙම සතිය රැකියා සපලවීම් ආර්ථික වාසි පෙන්වයි.

ගෘහ ජීවිතය සතුටුදායක වන අතර ප්‍රධානීන්ගෙන් ඇප උපකාර ලැබෙනු ඇත. දණහිස ආශ්‍රිත ආබාධ පෙනෙන්නට ඇත. ආයෝජනය කිරීම් ව්‍යාපාරයකට මුදල් යෙදවීම් පෙන්වයි.

සතිය අවසානයේ පිටරකට යාම හෝ පිටරටක සිට පැමිණි අයකු නිසා මුදල්මය ප්‍රතිලාභයක් පෙන්වයි.

 

වෘෂභ ලග්නය

ආර්ථික ප්‍රතිලාභ

 

වෘෂභ ලග්නය හිමි ඔබට සතිය ආරම්භයේදීම ආර්ථික ප්‍රතිලාභයකට හේතු වෙයි. තමා කිසිවකුට දී තිබූ මුදලක් නැවත තමා අතට පත්වීම නිසා ඒ තුළින් කිසියම් ව්‍යාපාර කටයුත්තකට අත ගැසීමට හැකිවේ.

තම ගෘහ ජීවිතය කාර්ය බහුල වෙතත් සතිය මැද භාගයේ ගමින් දුරස්ථව දුර බැහැර පෙදෙසකට යාමට ඔබට සිදුවන අතර ඒ තුළින් ආගමික කටයුත්තකට සිත යොමු කිරීමෙන් මානසික සුවය උදාකර ගත හැකිය.

 

මිථුන ලග්නය

තුනටිය ආශ්‍රිත උවදුරක්

 

මිථුන ලග්නය සහිත ඔබගේ සතිය ආරම්භය අසුබ වුවද සතිය මැද භාගයේ සිට යහපත් වේ. ආරම්භයේදී තුනටිය ආශ්‍රිත උවදුරක් නිසා අධික වියදම් තත්ත්වයක්ද පෙනෙන්නට තිබේ. තම උත්සාහය මත උසස් තත්ත්වයට පත්වේ. අන් අයගේ උපකාර මෙන්ම පෙර පිං මහිමය නිසා දේපළක හිමිකමක්ද පෙන්වයි. අන් අය ඕනෑවට වඩා විශ්වාස නොකරන්න. කල්පනාකාරී වන්න.

 

කටක ලග්නය

යුග දිවි සපලවේ

 

කටක ලග්නය හිමි ඔබට සතිය ආරම්භය ඉතා සුබවාදී වෙයි. අවිවාහක අයට මංගල යෝගද විවාහක අයගේ යුග දිවිය සතුටුදායකද වෙයි. තම උත්සාහයේ තරමට ප්‍රතිඵල ලැබේ. මුත්‍ර දෝෂ හිසේ සෙම ගතිය නිසා පීඩා විඳීමට විටින් විට සිදුවුවද සතිය අවසානයේ ඉතා යහපත් වන අතර රැකියාගත කටයුත්තක් නිසා ඉතා කාර්ය බහුල වන කාලයක් මෙන්ම අන් අයගේ ප්‍රසාදයට හේතු වෙයි.

 

සිංහ ලග්නය

උසස් ජනප්‍රියතාවක්

 

සිංහ ලග්නය හිමි ඔබට මේ සතිය සුබ අසුබ දෙකම අත්විඳීමට සිදුවේ. විශේෂයෙන් සමාජසේවා කටයුත්තක් නිසා ඇවිදිලි අධික වන අතර සතිය මැද භාගයේ සිටම සිත සතුටු වියහැකි කටයුතු කීපයක නිරතවීමට හැකිවේ. තම ආත්ම විශ්වාසය අනුව කරන ක්‍රියාකාරකම් ඉතා උසස් ලෙස ජනප්‍රියතාවට පත්වනු ඇත. ඉවසීමේ කටයුතු කරන්න. නැතොත් ඔබ දුරදිග නොබලා කරන ප්‍රකාශන අන් අය අතර දෝෂ දර්ශනයට ලක්විය හැක.

 

කන්‍යා ලග්නය

වාසනාවන්ත දරු සම්පතක්

 

කන්‍යා ලග්නයට අනුව මේ සතිය දරු සම්පත් අපේක්ෂා කරන අයට වාසනාවන්ත දරු සම්පත්ද තම මව් පාර්ශ්වයෙන් හා ඒ හා සබැඳි ඥාති පාර්ශ්වයෙන්ද බොහෝ ඇප උපකාර ලැබෙනු ඇත. කලාකාමී අදහස් සහිත අයට සිය නිර්මාණ සමාජය අතරට ගෙන යාමට බොහෝ මාර්ග සැලසේ. තම බුද්ධිය මෙහෙයවා කරන කටයුතු වලින් උපරිම පල උදාකර ගත හැකි අතර කවි, ගී, කෙටිකතා රචනා කරන අයට සුබවාදී සාර්ථක නිර්මාණ කිරීමට මෙම සතිය සුබයි.

 

තුලා ලග්නය

ආර්ථික ප්‍රතිලාභ

 

තුලා ලග්නයට අනුව මේ සතියේ තම ව්‍යාපාර කටයුත්තකින් උසස් ආදායම් මතු කෙරනු ඇත. 08 යවැන්නේ සිට ගමන් ඇරැඹන චන්ද්‍රයාගේ ගමන් මඟ ආර්ථික වශයෙන් ජයග්‍රහණ උදා කරදෙන අතර වාහන, නිවාස ඉඩම් හා මූල්‍යමය වාසනාව උදා කෙරෙනු ඇත. පපුවේ සෙම ගතිය නිසා විටෙක තම කටයුතු වලට බාධා එල්ලවන නමුත් එයින් සුරක්ෂිත වනවා නම් ආර්ථික ප්‍රතිලාබ ඉහළ නංවාගත හැකිය.

 

වෘෂ්චික ලග්නය

දේපළ හිමිකම්

 

වෘෂ්චික ලග්නය හිමි ඔබට සතිය ආරම්භයේදීම දේපළ හිමිකමකට හේතු වෙයි. කලක් අන් සතුව හෝ කිසියම් නීතිමය ගැටලුවකට මුහුණ පා සිටි තත්ත්වයකින් නිදහස්ව තම ගැටලු නිරාකරණය කරගෙන යාමට හැකි වනවා මෙන්ම බොහෝ අයගේ අතදීම සහයෝගය මත ඉදිරියට යාමට හැකිවේ. ඥාති පාර්ශ්වයේ සහයෝගය මේ අතර විශාල කැපී පෙනෙන කරුණක් වෙයි. තමාගේ එදිනෙදා කටයුතු නව මුහුණුවරකින් කරගෙන යාමට හැකිවන සතියකි.

 

ධනු ලග්නය

පොදු කටයුතු වලින් ප්‍රසාදය

 

ධනු ලග්නයට අනුව ඔබ කිසියම් කටයුත්තක් ඔස්සේ පවත්වාගෙන ආ සටන්කාමී ක්‍රියාදාමයක් ජය ගන්නා බව පෙනේ. එය බොහෝ විට සමාජසේවා කටයුත්තක් විය හැකිය. එබඳු පොදු කටයුතු වලින් විශේෂ ප්‍රසාදය හා කැපී පෙනෙන තත්ත්වයකට පත් වනු ඇත. ආර්ථික වාසියක්ද මේ අතර වෙයි. උගුරේ තුනටියේ ආසාදන බලපාන නිසා කල්පනාකාරි වන්න.

 

මකර ලග්නය

සම්මුඛ පරීක්ෂණ වලින් ජය

 

මකර ලග්නයට අනුව චන්ද්‍රයා 01 වැන්නේ සිට ගමන් ආරම්භ කිරීම සිතේ සතුට මෙන්ම ආත්ම විශ්වාසය ඇති කරන සතියකි. ධනය, නිලය උසස් කෙරෙන අතර තම නිර්මාණශීලී බව ප්‍රකට කරන සතියකි. විශේෂ හිතවතුන් පිරිසක් නිසා තමාට ආර්ථික ප්‍රතිලාභයකට හේතුවේ. ලොතරැයි ජයග්‍රහණ, තරග විභාග වලින් ජය හා රැකියාමය කටයුත්තක් නම් සම්මුඛ පරීක්ෂණ ආදියෙන් ජයග්‍රහණ උදාකෙරෙනු ඇත.

 

කුම්භ ලග්නය

විදේශ සබඳතා

 

කුම්භ ලග්නය හිමි ඔබට මේ සතිය ආරම්භයේ විදේශයට සම්බන්ධ කටයුත්තකට මූලිකත්වය දීමට සිදුවේ.

විදේශ ආයෝජන කෙර් සිත යොමුවේ.

තම සිතට එන හදිසි සිතුවිල්ලක් අනුව ක්‍රියා කිරීම නිසා ආර්ථික වාසිද තමාට කලකට පසුව හමුවූ මිතුරකු වෙතින් නව මුදල් උපයන ක්‍රමෝපායකට අත පෙවීමටද හැකිවේ.

එසේම තම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් දැඩි කාලයක් කැප කිරීමටද සිදුවේ.

 

මීන ලග්නය

වාසනාවන්ත සන්ධිෂ්ථානයක්

 

මීන ලග්නයට අනුව ඉදිරි සතිය තම ජීවිතයේ වාසනාවන්ත සංධිෂ්ථානයක් පසුකරන සතියක් වෙයි. තමා ව්‍යාපාරික අංශයෙන් ජය ලබනු හා තමාට අත්වන්නට තිබූ උරුමයක් නිශ්චිත ලෙසම තමාට උරුම කෙරෙන සතියකි. තම සහකරු හෝ සහකාරියගේ පාර්ශ්වයෙන් තමනට හිමි විය යුතු ආර්ථික සම්පත් පවරා දෙන මට්ටමේ උරුමයකට හිමිකම් කියයි. ඒ අනුව යුග ජීවිතය සාර්ථක වාසනාවන්ත එකක් කෙරේ.