අමාරුවේ වැටෙන්නට පෙර ඇසුරු කරන්නා තේරුම් ගන්න

මාර්තු 17, 2021

 

සිරුරේ භාෂාව හඳුනා ගනිමු - 2

 සාරියේ පොට හෝ ගවුම ස්පර්ෂ කරමින් කතා කරන්නාගේ ආත්ම විශ්වාසයේ අඩුවක්

සිතෙහි බොහෝ දේ සඟවාගෙන වෙනත් දෙයක් කතා කිරීමට මිනිසා හරිම දක්ෂය. දිවෙන් දිව ගාගෙන ඇසුරු ‍රකළත් ඉතාමත් පුංචි අත්වැරැදීමකදී සදාකාලික සතුරන් බවට මිනිසා පත්වන්නේ මිනිස් සිත ඒ තරමටම තේරුම් ගත නොහැකි නිසාය.

එහෙත් කොයිතරම් දේ සිතෙහි සඟවාගෙන සිටියත් අප කතාකරන විදිය, ගමන බිමන පමණක් නොව අප එදිනෙදා හැසිරෙන ආකාරය අනුව බොහෝ රහස් හෙළිකර ගත හැකි බව පැරැණි ඉසිවරු පවසා ඇත.

මෙය හඳුන්වන්නේ සිරුරේ භාෂාවBody Language)  ලෙසයි.

සිරුරේ භාෂාවෙන් අපේ ඇතුළාන්තයෙහි ඇති බොහෝ රහස් හෙළිවන බව බොහෝ දෙනෙක් නොදනිති. නොසිතති. එසේම සිරුරේ භාෂාව හඳුනා ගැනීමෙන් තමන් ඇසුරු කරන්නාගේ සිත්හි සැඟව පවතින දෑ හෙළිකර ගත හැකි බව නොදන්නා කම නිසා බොහෝ දෙනෙක් අමාරුවේ වැටෙති. සිත් පීඩාකර ගනිති.

ආදරණිය තරුණී පාඨක ඔබ දැනුවත් කිරීම පිණිසම ඇරැඹි මේ ලිපි පෙළ අධ්‍යයනය කිරීමෙන් ඔබට තමන් කෙබඳු කෙනෙක් දැයි වටහාගත හැකිවාක් මෙන්ම තමන් ඇසුරු කරන්නේ කෙබඳු පුද්ගලයන්දැයි දැනගත හැකිය.

‘ළිඳ ළඟ සංගමය’ කියා හඳුන්වන්නේ ඉස්සර කාන්තාවන් දිය ගෙන යාමට හෝ දිය නෑමට ළිඳ ළඟට පැමිණි විට අල්ලාප සල්ලාපයේ යෙදීමයි. එහිදී බොහෝ පොදු මෙන්ම පෞද්ගලික තොරතුරුද හෙළිදරව්ව වූ අතර ඇතැම් ඒවා ගැටුම් දක්වා දුරදිග ගිය අවස්ථා තිබිණි.

වර්තමානයේ මේ තත්ත්වය තරමක් වෙනස් වුවත් කාන්තාවන් තාප්පයට උඩින් එබිකම් කර හෝ අසල්වැසියන් සමඟ අල්ලාප සල්ලාපයේ යෙදීම පුරුද්දක් කොට ගෙන තිබේ.

එම නිසා අපි අද කතාබහ තුළින් අනෙකා තේරුම් ගත හැක්කේ කෙසේද යන්න ගැන දැනුවත් වෙමු.

දුක්මුසු ස්වර රටාවෙන් තමාට සිදුවූ සිදුවන යම් යම් අකටයුතුකම් ගැන වඩාත් සවිස්තරාත්මකව කතා කරන්නේ නම් ඇය හෝ ඔහු ප්‍රතිග්‍රාහකයාගේ අවධානය තමා වෙත යොමුකර ගැනීමට වෙර දරන්නෙක් බැව් සිරුරේ භාෂාවෙන් පැහැදිලි වේ.

සමහර විවාහහක කතුන් සිය සැමියාගේ හැසිරීම කතාබහ දැඩි ලෙස විවේචන කරන්නේ නම් එයට මූලිකම හේතුව වන්නේ ඇයගේ යටි සිත තවත් කෙනකු තමා වෙත ආකර්ශනය කර ගැනීමයි.

සිය දෙඅත් ළැම පෙදෙස වසාගෙන දෙනෙත් අඩවන්ව කතාබහේ යෙදෙන්නේ සම වියේ පිරිමියෙකු සමඟ නම් ඇය ඔහු සමඟ ඇසුරකට කැමැති බව හඟවයි. ඇගේ ළැම දෙස බලාගෙන පිරිමියා කතා කරන්නේ නම් එයින් හැඟවෙන්නේ ඔහු ඇගේ ළයට නොව ළැමට ආකර්ෂණය වී ඇති බවකි.

දකුණත මිටමොලවා වේගයෙන් කතා කරන ඇය ගැන ස්ථිරවම විශ්වාසයක් තැබිය නොහැක.

අද්භූත උදාහරණ මුසු කර කතා කරන්නේ නම් ඔහු හෝ ඇය ගැන තද විශ්වාසයක් තැබිය නොහැක.

මුහුණට මුහුණ නොදී වෙනතක් බලමින් කතාබහේ යෙදෙන අය සමඟ මුදල් ගනුදෙනු කිරීමෙන් තමාට අවාසි සිදුවේ. ඔවුන් තමාගේ වාසියම බලන්නේය.

ඕනෑවට වඩා කෙනකු ඉදිරියේ ඔහු හෝ ඇය ගැන වර්ණනා කරමින් කතා කරන අය ගැන විමසිලිමත් විය යුත්තේ ඔහු ඇය නැති තැන වෙනත් අරමුණු හරහා කතාකරන නිසාමය.

කාන්තාවකගේ දබරඇඟිල්ල පමණට වඩා දික්වූයේ නම් ඇය ඉතාම මුරණ්ඩුය. නින්දිත ලෙස කතා කරන්නීය.

කතා කරන විට කමිසයේ කොලරය අතගාමින්ද සාරියේ පොට හෝ ගවුමේ තැන් තැන් ස්පර්ෂ කරමින් කතා කරන්නේ නම් ආත්ම විශ්වාසය අඩුවක් ඇති බැව් පැහැදිලි වේ. නමුත් කපටිය.

උපැස් යුවලේ රාමුවට උඩින් ඇහි බැමි හකුළුවා කතා කරන්නේ නම් උපක්‍රමශීලී බවක් ඉස්මතු වේ. මේ අය කෙරෙහි විශ්වාසය තැබීම තරමක් අපහසුයි.

ලබන සතියේ නිදාගන්නා ඉරියව් අනුව කෙනෙක් තේරුම් ගන්නේ කෙසේද?

 

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යා ‘කලාභූෂණ’ දේශබන්දු

ටී. හෙන්රි බෙම්මුල්ල