පවුල් දිවියේ අවුල්වලට නීති උපදෙස්..

ජනවාරි 2, 2019

අප මෙවර ඔබට ඉදිරිපත් කරන්නේ පවුල් දිවියක ඇති ගැටලුකාරී තත්ත්වයක් පිළිබඳයි. මෙවැනි දුක් සහිත ජීවිත ගත කරන පවුල් කොතෙකුත් අපේ සමාජයේ පවතියි.

එහෙත් ඒ වෙනුවෙන් ගත හැකි නීතිමය ආරක්ෂාව හා නීතිමය උපදෙස් පිළිබඳ ඔවුනට ඇත්තේ අල්ප වූ දැනුමකි. තමාට ඇති ගැටලුව උදෙසා නීතියේ පිහිට පැතීමට අදහස් කළත් ඒ වෙනුවෙන් යොමුවීමට නොහැකි බොහෝ දෙනකුගේ දැන ගැනීම උදෙසා මෙලෙසින් කරුණු පැහැදිලි කරන්නෙමු.

මගේ සොහොයුරා විවාහකයි. ළමයි තිදෙනකුගේ පියකු වන ඔහුගේ වැඩිමල් පුතුට වයස 20 ක් පමණ වන අතර බාල පුතු හා දියණිය තවමත් පාසල් යන දරුවන්. පරම්පරාවෙන් උරුම වූ නිවෙසේ පදිංචිව සිටින ඔහු බීමට ඇබ්බැහි වී ඇති නිසා බිරියට හා දරුවන්ට අඩන්තේට්ටම් කරයි. අනියම් සබඳතා ද පවත්වයි. ඔහු විකෘති ලිංගික ආසාවලින් ද පෙළෙන බව බිරිය පවසයි. පොලිස් පොතේ කොතෙක් පැමිණිලි ලිව්වද එහිදී ඔහු හඬා වැටෙමින් පවසන්නේ තමාට බිරිය අවශ්‍ය බවත් තමා නැවතත් එම වරද නොකරන බවත් ය.

මෙය බලාසිටීමට බැරි තැන මම සොයුරාගේ දරුවන් හා බිරිය මම වෙසෙන කොළඹ ප්‍රදේශයට රැගෙන ආවේ ඔවුනගේ ආරක්ෂාව හා සැනසීම ගැන සිතාය.

දරුවන් හා බිරිය මෙහිදී සතුටින් සිටියත් නැවතත් ඔහු පැමිණ ඔවුන් රැගෙන ගියේ මට ද දොස් පවරමිනි. නැවතත් දරුවන් හා සොයුරාගේ බිරිය පෙර පරිදිම දුක් විඳිමින් දිවි ගෙවන බව ඇය පවසයි. මේ සඳහා නීතියෙන් ලබා ගත හැකි පිළිසරණක් පවතී ද?

 

දුකට පත් සොයුරියක්

මෙවැනි තත්ත්වයක් සඳහා අපට එක් එක් පැතිකඩවලින් ගත හැකි පියවර කිහිපයක් දැක්විය හැකියි.

මෙහිදී අපෙන් ගැටලුව විමසා ඇත්තේ සොයුරියක් වන බැවින් මේ සඳහා ඇයට සිදු කිරීමට හැකි දේ අපි විමසා බලමු.

තෙවැනි පාර්ශ්වයක විසින් සහනයක් ඉල්ලා සිටිය හැකි අවස්ථා..

තෙවැනි පාර්ශ්වයක් ලෙස සොයුරියට මේ සඳහා ඉදිරිපත් විය හැකි වන්නේ 2005 අංක 34 දරන ගෘහස්ථ ප්‍රචණ්ඩත්ව නීතිය යටතේ ය. 1.පීඩාවට පත් තැනැත්තකු විසින්, එකී පීඩාවට පත් තැනැත්තා ළමයකු වූ විට ඒ ළමයා වෙනුවෙන්. 2. ළමයාගේ මවුපියන්ගෙන් අයකුට හෝ භාරකරුවකුට. 3. ළමයා පදිංචිව සිටින ස්ථානයේ තැනැත්තකු විසින් 4. ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් ලිඛිතව බලය පවරනු ලැබූ තැනැත්තකු විසින් හෝ 5. පොලිස් නිලධාරියකු විසින් දරුවන් වෙනුවෙන් සහන ඉල්ලා සිටීමේ හැකියාව පවතී.මෙහිදී අදාළ අඩන්තේට්ටම් සිදු කිරීම පිළිබඳ කලින් කරඇති පැමිණිලි පිටපත් සහ ඡායාරූප ඇතුළු වෙනත් සාක්ෂි පවතින්නේ නම් ඒවා සහිතව පෙත්සමක් හා දිවුරුම් ප්‍රකාශයක් මාර්ගයෙන් දැනට දරුවන් හා බිරිය සිටින ප්‍රදේශයේ හෝ ගැටලුව ඇති වූ ප්‍රදේශයේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් සිදුකර දරුවන්ගේ පියාට දරුවන් වෙත ඇති ප්‍රවේශය, හිරිහැර කිරීම් පාසල් ආදී ස්ථානවලට පැමිණ සිදු කරන කරදර කිරීම්, බිරිය වෙත පැමිණ සිදු කරන කරදර කිරීමේ වැළැක්වීමට අතුරු ආඥාවක් පවා ඉල්ලා සිටීමේ හැකියාව පවති. එකී නියෝගය ලැබීමෙන් පසු එම කරුණු අසත්‍ය නම් හෝ ඊට ඔහු නිර්දෝෂී නම් අදාළ අධිකරණයට ඒ බවට වන සාක්ෂි ඉදිරිපත්කර එකී නියෝගය වෙනස් කරන ලෙස ඉල්ලා සිටීමට පුරුෂයාට හැකියාව ඇත.

ඒ හැරුණු විට දරුවන්ගේ ප්‍රවේශය පිළිබඳ මවුපියන් අතර ගැටුම් දුරදිග යන තත්ත්වයක දී දරුවන්ට බලවත් අගතියක් සිදු වන බව පෙනී යන්නේ නම් ළමා මහේස්ත්‍රාත් අධිකරණයට එම කරුණ ඉදිරිපත් කිරීමේ හැකියාව පොලිසියට ඇත. මවුපියන්ගෙන් කෙනකුට වුවත් මෙම අධිකරණය ඉදිරියේ ඉල්ලීමක් කිරීමේ හැකියාව තිබේ. නමුත් සහෝදරිය වැනි තෙවැනි පාර්ශවයකට මෙම අධිකරණයේ ඉල්ලීමක් කිරීමට නොහැකිය. දැනට ළමා මහේස්ත්‍රාත් අධිකරණයක් තිබෙන්නේ බත්තරමුල්ල ප්‍රදේශයේ පමණි. එහෙත් ඊට අවශ්‍ය නම් ලංකාවේ ඕනෑම ස්ථානයක සිටින අගතියට පත් දරුවකු වෙනුවෙන් කටයුතු කිරීමේ හැකියාව තිබේ. එහිදී ද දරුවාට වඩාත් යහපත් වන්නේ මවුපියන් දෙදෙනාම නොවේ නම් ළමා නිවාසයක් නම් දරුවන් එවැනි ස්ථානයකට යොමු කිරීමේ නියෝග ලබා දීමට අධිකරණයට හැකියාව ඇත.

නමුත් ළමා මහේස්ත්‍රාත් අධිකරණයට මැදිහත් වීමට හැකියාව ඇත්තේ දිසා අධිකරණයක දික්කසාද නඩුවක් පවරා ඒ මඟින් දරුවන්ගේ භාරකාරත්වය පිළිබඳ විමසීමක් සිදු නොවේ නම් පමණි.

 

2019/01/02 තරුණි පුවත්පත බලන්න.