ලියකට අවැසි අනුකම්පාවද? ආරක්ෂාව ද?

මාර්තු 6, 2019

තවත් ජාත්‍යන්තර කාන්තා දිනයක් අප අභියසටම පැමිණ තිබේ. මේ කාන්තාව පිළිබඳ වෙනදා නොවූ ළතෙත් හැඟීමකින් කතා කරන්නට බොහෝ වේදිකා තැනෙන වසරේ එකම දවසයි.

එනමුදු මවක් බිරියක් නැතිදා සැබැවින්ම පවුලකට සක්‍රීය දිනයක් උදාවන්නේ නැත. කවුරුන් කෙසේ කීවද දවස අරුත් ගන්වන්නට නම් ඇය දෛනික රාජකාරි සඳහා නිවසේ නියමුවරිය විය යුතුය.

"අම්මා ගෙදර නැති දවසට

සඳ නැති දා වගෙයි අපට..."

යැයි ළමා ළපටින්ගේ මුවින් ගී පද ගැයෙන්නේ එබැවිනි. ඇයට ගෙදරින් එළියටවිත් ශ්‍රමබලකායට දායකත්වය දෙන්නට සිදුව ඇත්තේද පවුලේ දියුණුව වෙනුවෙන්ම ය.

එනමුදු අවාසනාවකට සමාජය තුළ ඇත්තේ ඇයට සුරක්ෂිත පසුබිමක් නොවේ. රාගාධික ඇස්බැල්මක සිට කෙළෙසීම දක්වාම මේ අනාරක්ෂිත බව බරපතළ විය හැකිය. ඇය රැකිය යුතුය. ඒ අනුකම්පාව මතින්ද ආරක්ෂාව මතින්ද? ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා ඒ පිළිබඳ ඔබේ හදවතටත් බුද්ධියටත් කරන ආමන්ත්‍රණයයි මේ.

අනුකම්පාව, ආදරය, දයාව, ආලය, ප්‍රේමය වගේ බොහොම සුන්දර වචන පෙළක් ගැහැනිය හා බැඳෙනවා. අනුකම්පාව කියන්නේ අනුන්ගේ දුක දැකලා පිහිට විය යුතුයි යැයි හදවතින්ම පහළ කරගන්නා හැඟීමක්. කාන්තාවගේ විවිධ භූමිකාත් සමඟ උපදින හැඟීම් වෙනස් වනවා. 'අම්මා' යැයි කියද්දී සිතේ උපදින්නේ ගෞරවනීය, සද්ධා සම්පන්න හැඟීමක් 'දුවණිය' කියද්දීත් උපදින්නේ යම් ගෞරවයක් මුසු ආදරණීය හැඟීමක්. බිරිය පෙම්වතිය ඉදිරියේ උපදින මිනිස් හැඟීම් ශෘංගාරිකයි. ආලය ප්‍රේමය වැනි හැඟීම් එක්ක ශරීරයත් බැඳෙනවා. සැලමුතු ප්‍රේමය චාටුවෙන් මිදුණු ආදරයක්.

කොහොම නමුත් අපට තවත් කෙනෙකු වෙනුවෙන් රිදෙන්නේ තමන්ගේ කියන හැඟීමත් එක්කයි. ඒ නිසාම තමන්ගේ සහෝදරියට, අම්මාට, බිරියට එහෙමත් නැතිනම් ඥාතිවරියකුට, යෙහෙළියකට යම් අකටයුත්තක් සිදුවුණෝතින් අපට රිදෙනවා. අප මේ ඇය දිහා තමන්ගේ කියන හැඟීමත් එක්ක අනුකම්පාවෙන් බලන නිසායි.

ඇත්තටම සමාජයේ වෙසෙන හැම කාන්තාවක් දෙස අනුකම්පාවෙන් බලන්න නම් තමන්ගේ කියන හැඟීමක් උපදවාගත යුතුයි. මෙහිදි ලේ බැඳීමක්, හිත මිත්‍ර බැඳීමක් නොතිබිය හැකියි. ඒත් මේ මගේ අම්මා වගේ කෙනෙක්, මගේ සහෝදරිය වගේ කෙනෙක් කියන හැඟීමට ඉඩ දීමට බැරිකමක් නැහැ. මෙහිදී ඔවුන් පිළිබඳ හදවතේ නිතැතින්ම ළතෙත් බවක් උපදිනවා. එය අනුකම්පාව සමඟම එකට යාවන ආරක්ෂාවක් නොවේද?

 

තරුණි 2019/03/06 බලන්න.