ආර්ථික දුෂ්කරතා නිසා පවුලේ සතුට ගිලිහිලා

කියන්න බැරි දේ ලියන්න
මාර්තු 24, 2021

 

ප්‍රශ්නය:

මා විවාහ වී වසර දෙකක් වෙනවා. ඔහුට වයස අවුරුදු 34 කි. මා ඔහුට වඩා වසර තුනකින් බාලය. අපගේ පුතුට වයස අවුරුද්දකි. අප විවාහ වූයේ යෝජිත විවාහයකිනි. මුල් කාලයේ තිබුණු ආදරය අප අතරින් ගිළිහී ගොස් ඇති බවක් දැනෙයි. ආර්ථික සහ මානසික වශයෙන් අප ගෙවමින් සිටින්නේ දුෂ්කර කාලයක්.

මේ සියලු දේ නිසා අප අර නිතර මත ගැටුම් ඇතිවනවා. මා රැකියාවක් නොකරන නිසා ඔහු නිවෙසෙහි ආර්ථික ගැටලුවලට තනිවම විසඳුම් සෙවීමට මහන්සි ගන්නවා. මා දන්නවා මේ දේවල් නිසා ඔහුට විවේකයක් නොමැති බව.

මා ඒ සියලු දේ පිළිබඳව සිටින්නේ අවබෝධයකිනි. නමුත් ඔහු නිතර මා සමඟ තරහ ගන්නවා. කිසිම විටෙක හොදින් කතා බහ කරන්නේ නැහැ. මට දැන් ජීවිතය ගැන ඇතිවන්නේ කලකිරීමක්. නමුත් තවමත් මට අවශ්‍ය වන්නේ පවුල් ජීවිතය සතුටින් ගෙන යෑමටයි. ඒ සදහා නිසි මඟ පෙන්වීමක් ලැබුණහොත් එය මට මහත් උපකාරයක් වේවි. ඊට මට සහය වන්න.

කල්පා - දොම්පේ

 

පිළිතුර:

කාන්තාවන් සහ පිරිමින් එකම භාෂාවක් කතා කළ ද මොවුන් එකිනෙකා පවසන දෙය තේරුම් ගන්නේ දෙයාකාරයකටය. මෙනිසා ඇතැම්විට සංවාදයේ අවසන ගැටුමක් කරා යොමු විය හැකියි. එහෙත් එකිනෙකාගේ සන්නිවේදන රටාවන් පිළිබද අවබෝධයෙන් යුතුව සංයමයෙකින් කතා බහ කළහොත් වඩා යහපත් සන්නිවේදනයක් ගොඩනඟා ගත හැකි වනු ඇත. මෙවැනි අවස්ථාවකදී බිරිය ඉවසීමෙන් කටයුතු කර සැමියාට සවියක් වීම අතිශයින්ම වැදගත්.

දුෂ්කරම මොහොතේ අනෙකාව අගය කරන්න.මොකක් හරි හේතුවකට ආර්ථික අතින් පල්ලෙහාට වැටුණු වෙලාවට දෙන්න දෙමහල්ලෝ එකිනොකට ඔරවන්න ගොරවන්න යන්න එපා. එළැඹිලා තියෙන දුෂ්කර කාලයේ පවුල වෙනුවෙන් සැමියා කරන කැපකිරීම් අගය කරන්න. ඒ වෙනුවෙන් පුංචි වචන කීපයක් දවසකට වැය කරන්න. ඒ පුංචි වචන කීපයෙන් ලොකු වෙනසක් කරන්න ඔබට පුළුවන් වෙයි.

නිරන්තර දිරිමත් කිරීම් ලබාදෙන්න.

ආර්ථික දුෂ්කරතා එනකොට, ඒ නිසා පවුලෙ වැඩකටයුතු පස්සට යනකොට එක දිරිමත් කිරීමකින් සැමියාගේ හිතේ ශක්තිය ගොඩ නංවන්න ඔබට පුළුවන්. “අපි මේකට කොහොම හරි මුහුණ දෙමු.’ හෝ “අපිට බැරි නෑ” වගේ දිරිමත් කරවන සුළු වාක්‍ය නිතර නිතර පැවසීම මඟින් සැමියාගේ හිත ශක්තිමත් කරන්න වගේම ඔහුගේ ආදරය නොසෙල්වී තබාගන්නත් ඔබට පුළුවන්.

දෛනික ජීවිතයේ වෙනසක් සිදු කරන්න.ආර්ථික අතින් වැටීම කියන්නේ මානසික පීඩනය, තරහව වගේ දේවල් වැඩි වෙන සමයක්. දිනපතා එකම විදියට ගෙවන දින චර්යාවේ පුංචි වෙනස්කමක් කරන එකෙන් මේ දේවල් මඟ හැරගන්න ඔබට පුළුවන්. එළිමහනේ ගන්නා ආහාර වේලක්, පවුලේ සාමාජිකයින් එක්වී කරනා පැදුරු පාටියක්, ගෙවත්තේ ගසක් යට සංග්‍රහයක් වැනි සුළු දේකින් ඒකාකාරි දෛනික රටාව මඟහැර ජිවිතයට නැවුම් වෙනසක් ලබා ගන්න ඔබට පුළුවන්. ඒ වගේම ඔබ දෙදෙනා අතර ආදරයටත් අලුත් හැඩයක් ලබා දෙන්න මේ වෙනසට පුළුවන්.

සුළු තෑගි බෝග හුවමාරු කරගන්න.

ආර්ථිකය වැටුණු කාලෙක තෑගි කියන්නේ ඇහුවත් ඇඟ හිරිවැටෙන වචනයක්. නමුත් මේ කියන්නේ බොහොම පුංචි මුදලක් වියදම් වෙන තෑගි ගැන. ඒක අලුත් විදිහට ගෙදර හදපු කෑමක්. ලේන්සුවක් වගේ පොඩි දෙයක් වෙන්න පුළුවන්. ඒ පුංචි තෑග්ගෙන් ඔබට ආපහු ලැබෙන ප්‍රතිලාභය බොහොම ලොකු එකක්. නිතර නිතර මේ වගේ පුංචි පුංචි තෑගි හුවමාරු කර ගැනීමෙන් ඔබේ ආදරය නැවුම්ව ඔබ වෙතම පවත්වාගෙන යන්න පුළුවන්.

විනෝද ගමනක් යන්න.

සල්ලි නැතුව මොන ට්‍රිප්ද කියලා කාටහරි හිතෙන්න පුළුවන්. හැබැයි මේ කියන්නේ දවස් ගණන් ගත කරන ලොකු ලොකු විනෝද ගමන් ගැනනම් නෙවෙයි. දෙන්නා එක්ක දරුවන් සමඟ මුහුදු වෙරළ අයිනට වෙලා හවස් වරුව ගත කරන්න. එහෙම නැත්නම් ලස්සන නිස්කලංක පරිසරයක පැය දෙක තුනක් ගත කරන්න. ඔබ නොසිතූ තරම් වෙනසක් ජීවිතයට ලැබේවි. මෙහෙම යනකොට ගෙදරම හදපු කැමක්, උණුවතුර බෝතලේක දාපු තේ ටිකක් දාගෙන යන්න අමතක කරන්න එපා.

සංසන්දය නවත්වන්න.

තමන්ට නැති අනුන්ට ඇති දේවල් දෙස බලමින් සංසන්දය කරන්න එපා. “අනේ අරයට තියෙනවා මට නෑනේ’ වැනි දේවල් කියමින් සැමියා වෙහෙසීම ඔබ අතරේ ඇති ආදරයට හානිකර ලෙස බලපාන්න පුළුවන්. සංසන්දනය වෙනුවට ලැබී ඇති දෙයින් සතුටුවීමට පුරුදු වෙන්න.

උපක්‍රමශීලී වෙන්න.

අගහිඟකම් එන කාලෙට කාන්තාවන් වෙනදටත් වඩා උපක්‍රමශීලී වන්න. එහෙම නැත්නම් තැනට සුදුසු නුවණ යොදා ගන්න ඕනේ.පස් දෙනෙක් ඉන්න ගෙදර බිත්තර පහක් තම්බන්නෙ නැතුව ලූනු ටිකක් දාලා බිත්තර තුනකින් ඔම්ලට් හදලා පස් දෙනාටම බෙදන්න. එක වතාවක් ඇඳපු උත්සව ගවුමක් පොඩි වෙනසක් කරලා තවත් උත්සවයකට අඳින්න. ඒ වගේ පුංචි පුංචි උපක්‍රමශීලී දේවල් ආර්ථික අපහසුතාවයට පිළියමක් වගේම සැමියාට ඔබ ගැන අලුත් ආදරයක් ඇති වෙන්නත් හේතුවක් වේවි.

දෑතේ හැකියාව වර්ධනය කරගන්න.

බොහෝ කාන්තාවන් උපතින්ම ගේන කුමක්ම හෝ හැකියාවක් ඇති අයවලුන් වෙනවා. මහන්න, ගොතන්න, චිත්‍ර අඳින්න, ලියන්න වගේ තමන්ට ඇති කුමක්ම හෝ හැකියාවක් ඔප දමා ආර්ථික වටිනාකමක් ඇති දෙයකක් බවට පත්කර ගත්තොත් ආර්ථික සහනයක් වගේම ඔබට මානසික සහනයක් ලබා ගන්නත් පුළුවන් වේවි.

එකිනෙකාගේ හැඟීම් හා සිතිවිලි නොසඟවා හෙළි කරන්න.

 

උපදෙස් - වෛද්‍ය

ආර්. චන්ද්‍රිකා රාජපක්ෂ

මමෝ උපදේශිකා

ශ්‍රී ලංකා වෘත්තිය මනෝ උපදේශකයන්ගේ සංගමය

ශ්‍රී ලංකා පදනම් ආයතනය

 

 

ඔබේ ගැටලුව අපට ලියන්න. පවුලෙන් ගිලිහුණු සතුට සමාදානය නැවත රැගෙන එන්න තරුණී නිරතුරුව ඔබට සහයක් වනු ඇත. අපගේ ලිපිනය,

‘කියන්න බැරි දේ ලියන්න’

තරුණී,ලේක්හවුස්,

කොළඹ - 10.