රෝ ග නසන කට දිව පිනවන තුනපහ

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වාගෙන්
පෙබරවාරි 10, 2021

 

නිවෙසක වැදගත්ම ස්ථානය වන්නේ ඔසුකුටිය නැතිනම් මුළුතැන්ගෙයයි.

පවුලේ සියලු දෙනාට අවශ්‍ය ආහාර පාන පිළියෙල කරන ස්ථානය නිවෙසේ වැදගත් ම ස්ථානය වන්නේ ආහාර මඟින් පවුලේ සෞඛ්‍ය රැක ගැනීමට වැදගත් මෙහෙයක් සිදු කරන නිසයි.

රසවත් ලෙස මෙන්ම ගුණවත් ලෙසින් ද ආහාර පාන සැකසීම මඟින් පවුලේ සුරක්ෂිතතාව රැක ගැනීමට බොහෝ ගෘහණියන්ට හැකිව තිබේ. එහෙත් ඇතැම් විට එය සිදු කරන්නේ නිසි දැනුමක් නැතිව වීමට පුළුවන. අපේ මේ වෑයම ඒ පිළිබඳ ඔබට වැඩි දැනුමක් ලබා දීමටයි.

අතීතයේ සිට මිනිසා ආහාර කල් තබා ගැනීමටත් ආහාර රස ගැන්වීමටත් විවිධ ඖෂධ සංයෝග එකතු කිරීමෙන් එහි රසයත්, ගුණයත්, ආහාර දිරවීමේ පහසුවත් ඇති විය. එම සංයෝග රස කාරක හා සුවඳකාරක ලෙස හඳුනාගැනීමට පුළුවන. ශ්‍රී ලාංකික අපට ශරීරයට හිතකර ඖෂධීය රසකාරක 42ක් ඇත.

කෘත්‍රිම රසකාරක තුළින් ඔබ නොදැනීම බෝ නොවන රෝග රාශියකට ගොදුරුවන බව දැන් දැන් සොයාගෙන තිබේ. මෙවන් යුගයක දේශීය ස්වභාවික රස කාරක පිළිබඳ දැනුම්වත් වීම ඔබට වැදගත් වනු ඇත.

අපේ සංස්කෘතියේ ප්‍රධාන ආහාරය ලෙස සැලකෙන්නේ බත් හා මාළුපිණි ය. බතක් සමඟ සැකසෙන ව්‍යාංජනවලට යොදන විවිධ වූ රස කාරක අපි නොදැනුවත්ව ම අපේ සෞඛ්‍ය රැක ගැනීමට කටයුතු කරයි. මේ අනුව ව්‍යාංජන රසවත් කිරීමට යොදන ප්‍රධානතම කුළුබඩුවලින් තුනපහ විශේෂිත ය. ඉන් ද කරි කුඩුවලට ඇත්තේ සුවිශේෂිත වූ තැනකි.

මේ රසකාරක 42 තුළ සංයෝග ඇත්තේ එකකි. එය කරි කුඩු ය. මෙය සාම්ප්‍රදායිකව අපි තුනපහ ලෙස නම් කෙරුණ ද අද එයට එසේ කීමට නොහැකි වන්නේ තුනපහ ගලේ අඹරාගන්නේ නැති නිසයි. කරි කුඩු සැකසීම සඳහා යොදා ගන්නේ කොත්තමල්ලි, මහ දුරු හා සූදුරු ය. මේ කරි කුඩු සංයෝගය සකසා ගැනීම සඳහා ඒවා ගත යුතු ප්‍රමාණයන් ඇත. ඒ සඳහා,

කොත්තමල්ලි ග්‍රෑම් 500ක්

සූදුරු ග්‍රෑම් 250ක් හා

මාදුරු ග්‍රෑම් 50ක් ගත යුතුය.

පළමුවෙන් ම මේ වර්ග තුනම හොඳින් සෝදාගත යුතුයි. ඉන්පසුව හොඳින් දිය සිඳෙන තෙක් ම වේලා කුඩුකර ගත යුතුයි. නමුත් කිසිම විටෙක මේවා බැදීම නොකළ යුතුයි. මේවා බැදීමෙන් එහි ඇති ගුණය වෙනස් වේ.

මේවායේ ඇති ඖෂධීය ගුණයට උදාහරණයක් ලෙස ලෝකයම බිලිගත් කොවිඩ් 19 වසංගතය සඳහා කොත්තමල්ලි, බැද ඉඟුරු සමඟ තම්බා බිව්විට එම රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාව අඩුවන බව ලෝකයම පිළිගත් සත්‍යයක් බවට පත් වී තිබේ. අපේ රටේ එම රෝගීන් අවම වීම සඳහා මෙය ද එක් හේතුවක් විය හැකියි.

 

කොත්තමල්ලි

මෙය ඉංගී‍්‍රසියෙන් Coriander Seed  ලෙස හැඳින්වේ. තුන්දොස් සමනය කරන ගුණයක් පවතී. කහට, තිත්ත, කුලු, මයුර රසයෙන් යුක්ත ය. කාන්තා රෝගවලට ඉතාමත් ගුණදායක ය. පිපාසය සංසිඳවන ගුණයෙන් යුතුයි. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි රෝගවලට ගුණ ගෙන දේ. ගැබිනි මව්වරුන්ට වමනය හා ඔක්කාරය ඇති විට පානය කිරීම සඳහා සුදුසු ය. මෙය මුත්‍රකාරක ගුණයෙන් ද යුතුය. සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

සූදුරු

සූදුරු ඉංගී‍්‍රසි භාෂාවෙන් Cumin Seed  ලෙස හඳුන්වයි. මෙය පිත සමනය කරන අතර ආහාර දිරවීමේ අපහසුතාවලටත්, අජීර්ණාබාධ සහිත ආමාශගත රෝග සඳහාත් ගුණදායක ය. මේ නිසා අපේ මවුවරු බඩේ අමාරු සැදුණ විට සූදුරු ඉතා ස්වල්පයක් තම්බා බීමට දීමට පුරුදු වී සිටිති. මුත්‍ර කාරක ගුණයෙන් යුතුය.

මාදුරු හෙවත් මහ දුරු

ඉංගී‍්‍රසි භාෂාවෙන්Sweet Cumin Seed  ලෙස මෙය හැඳින් වේ. පිත් නසන ගුණයෙන් යුතු නිසා උදරාබාධ සුව කිරීම සඳහා යොදා ගනී. මෙය මුත්‍ර කාරක ගුණයෙන් යුතුය. ආහාර රුචිය ඇති කරයි. පැණි රසයෙන් යුතු මෙය ඉමිහිරි සුවඳකින් යුතු රස කාරකයකි.

මෙය ඉවුම් පිහුම් වලදී මෙන්ම රස කැවිලි සෑදීමේ දී ද (කැවුම්, අතිරස වැනි) යොදා ගනී. ස්වල්ප වශයෙන් වුවද යෙදීමෙන් ඒවායෙහි රසය හා සුවඳ වැඩිකර ගත හැකිය.

කරි කුඩු සිරුරට ඉතාමත් ගුණ ගෙන දෙන ඖෂධීය ගුණයෙන් යුතු ස්වභාවික රසකාරක සංයෝගයකි. මේ සංයෝගයේ ඇති ඖෂධීය ගුණ ලබා ගැනීමට නම් අප සකස් කරන ආහාර වේලේ ව්‍යංජන සඳහා මෙය එකතු කළ යුතුය. එහෙත් අද ඇතැම් අය පවසන්නේ ගෑස්ට්‍රයිටීස් හෙවත් අම්ල පිත්ත රෝගය සඳහා තුනපහ හොඳ නැති බවයි. එය හිතලුවක් මිස සැබෑවක් නොවන බව එහි ඖෂධීය ගුණය ගැන යම් අවබෝධයක් ලබා ගත් විට ඔබට ම වැටහේවි.

බටහිර රටවලට වඩා අපේ රටේ ආහාර සංස්කෘතියේ ඇති වෙනස්කම්වල ඇති විශේෂත්වය වන්නේ ද මෙයයි. මෙයින් එවැනි රෝග ඇති වෙනවාට වඩා එවැනි රෝගාබාධ සුව වන බව සොයාගෙන තිබෙනවා. නමුත් ඕනෑම දෙයක් ඕනෑවට වඩා ඕනෑ නැත යන්න අපි හැම විට ම සිත්හි තබා ගත යුතුයි. මන්ද ගුණදායක වුවත් මේ දේවල් නිසි ප්‍රමිතියකින් යුතුව ආහාරයට ගත යුතු වෙනවා.

එමෙන්ම ගුණදායක බව වැඩියෙන් ලබා ගැනීමට සිතා අනවශ්‍ය ලෙස කරි කුඩු වැඩියෙන් යෙදීම ද සුදුසු නොවේ.

අනෙකුත් රස කාරක ගැන අපි ලබන සතියේ ලිපියෙන් කතා බහ කරමු.