මඤ්ඤොක්කා කේක්

ජූලි 1, 2020

දේශීය ආහාර වලින් රසවත් කෑම වට්ටෝරු

පසුගිය කාලය අප හැමදෙනකුගේ ම ජීවිත යම් තරමකට වෙනස් වූ කාලයක්. ගෘහණිය අනික් හැම කෙනකුට ම වඩා මේ වෙනස් වීමට මුහුණ දුන් තැනැත්තිය යි. වෙනදා රාත්‍රී ආහාරයට පමණක් එක්වෙන පවුලේ සියලුදෙනා ම එකට එක්ව දිනයේ සියලු ම ආහාරවේල් ගැනීම නිසා ම විවිධාකාරයේ ආහාර වර්ග සැකසීමට ඇයට සිදු වුණා.

එමෙන්ම නිවෙසේ ඇති ආහාර ද්‍රව්‍ය සීමිත බැවින් ඒවා අරපරෙස්සමෙන් භාවිත කිරීමට සිදු වීමත් එක්තරා අභියෝගයක්.

මේ නිසාම වෙනදා වැඩියෙන් ආහාරයට එක්කර නොගන්නා, ආහාරයට ගැනීමට නොහැකිව මඟහැරුණු දේශීය ආහාර ද්‍රව්‍ය ආහාරයට ගැනීමටත්, ඒවායින් විවිධ අත්හදා බැලීම් කිරීමටත් කාලය ද ඉතිරිව තිබිණි.

තමා සකසන ආහාර වර්ග හා ඒ පිළිබඳ අත්දැකීම් මුහුණුපොතේ හිතවතුන් හිතවතියන් සමඟ ද බෙදා හදා ගැනීමට ඔවුන් උත්සුක වීම මෙහි විශේෂත්වයයි.

එසින් මුහුණු පොතේ පළ වූ මේ කෑම වට්ටෝරු ඔබේ කෑම වට්ටෝරු එකතුවට එක් කිරීමට අපි අදහස් කළා...

 

*********************

මඤ්ඤොක්කා කේක්

මඤ්ඤොක්කා ආහාරයට එක්කර ගන්න වෙනදාට වඩා දැන් බොහෝ දෙනෙක් උනන්දු වෙලා. ඒ මඤ්ඤොක්කා සතුව පිළිකා නාශක ගුණයක් ඇතැයි කතාබහක් පැතිරීමත් සමඟයි.

ඉතාමත් පහසුවෙන් කුඩා දඬු කැබැල්ලකින් වුවද වගාකරගත හැකි නිසාත් සිටුවීමෙන් පසුව මහන්සි වී රැකබලා ගත යුතු වගාවක් නොවන නිසාත් බොහෝ නිවෙස්වල මඤ්ඤොක්කා ගසක් දෙකක් හෝ තිබෙනවාමයි.

තම්බා ආහාරයට ගන්නවාට අමතරව මඤ්ඤොක්කාවලින් වෙනත් ආහාර වර්ග සකසා ගත හැකි යැයි බොහෝ දෙනා හිතන්නේ නෑ. ඒ සඳහා බොහෝ අය උනන්දු නොවන්නේ මඤ්ඤොක්කා සතුව සයිනයිට් නම් රසායනය යම් ප්‍රමාණයක් අඩංගුව පවතින නිසයි.

නමුත් අප අද ඔබට මඤ්ඤොක්කා යොදා සකසා ගත හැකි කේක් එකක කෑම වට්ටෝරුවක් ඉදිරිපත් කරන්නේ වෙනස් රසයකින් මඤ්ඤොක්කා රස බැලීමටයි.

 

ඒ සඳහා මේ ද්‍රව්‍ය අවශ්‍යයි,

මඤ්ඤොක්කා අල ග්‍රෑම් 700 ක් පමණ

පොල් කිරි මිලි ලීටර් 400 ක් පමණ

සීනි ග්‍රෑම් 180 ක් (මේ සඳහා ග්‍රේට් කරගත් හකුරු වුවද යොදා ගත හැකියි)

රම්පෙ කොළ 2 ක්

ලුණු තේ හැඳි 1/2 ක්

බටර් ග්‍රෑම් 20 ක්

 

දැන් අපි කේක් එක හදමු..

තම්බාගත් මඤ්ඤොක්කා ග්‍රේට් කරගන්න.පොල් කිරි, රම්පෙ හා සීනි මඳ ගින්නේ රත්කර ගන්න. (උතුරවා ගැනීමට අවශ්‍ය නැත) ඉන්පසුව එයට බටර් දමා මිශ්‍රණය කාමර උෂ්ණත්වයට එනතෙක් නිවෙන්නට තබන්න. දැන් රම්පෙ කොළ ඉවත්කර ලුණු සහ මඤ්ඤොක්කා එයට එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. කේක් තැටියක අඩියට හා වටේට තෙල් කඩදාසියක් දමා එහි බටර් ස්වල්පයක් තවරන්න. දැන් සකසා ගත් මිශ්‍රණය තැටියට දමන්න.

අවන් එක සෙල්සියස් අංශක 170 ට දමා විනාඩි 45ක පමණ වේලාවක් හා සෙල්සියස් අංශක 190 කට අවන් එක සකසා තවත් විනාඩි 15-20 ක් අතර කාලයක් කේක් එක බේක් කරගන්න. කැමැති නම් මෙයට එනසාල්, කජුු, වියළි මිදි ආදිය වුවද එක්කර ගත හැකියි.

2020/07/01 තරුණි පුවත්පත බලන්න.