ඔබ ම හැදූ කෑමවලින් ගෙදර පුංචි සාදයක්...

අගෝස්තු 19, 2020

නිවෙසට විශේෂ අමුත්තන් පැමිණෙන අවස්ථාවක දහවල් කෑම වේලක් සකසන්නේ කෙසේදැයි සිතන ඔබට සුදුසු ආකාරයේ රසම රස කෑම වට්ටෝරු කිහිපයක් අද අපි ගෙන එන්නෙමු. මේ ආහාර දුටු විට කෙසේ හෝ ඉන් එකක්වත් මේ සති අන්තයට සකසා රස විඳිය යුතු යැයි ඔබට සිතෙනවාට සැක නැහැ.

බොහෝ දෙනා පුංචි සාදයක් වුවත් හෝටල්වල ගැනීමට අදහස් කරන්නේ කෑම බීම සැකසීමට ඇති අකැමැත්ත, නොහැකියාව නිසයි. ඒත් අද අපි ඉදිරිපත් කරන මේ කෑම වට්ටෝරු ඔබේ අකැමැත්තට, නොහැකියාවට තිත තබනවා නිසැකයි. නිවෙසේ පවත්වන පුංචි උපන්දින සාදයකට මෙන්ම වෙනත් පුංචි සාද සඳහා ද මේ කෑම වට්ටෝරු ඔබේ අතින් ම සකසා ගත හැකියි. එයින් ඔබේ මුදල් අපතේ යාම වළක්වා ගැනීමටත්, ඔබට පවුලේ වැඩි වටිනාකමක් එක්කර ගැනීමටත් අවස්ථාවක් ලබා ගත හැකියි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ වුවමනාව හා උනන්දුවයි.

 

කෘත්‍රිම රසකාරක නැති චිකන් ෆ්‍රයිඩ් රයිස්

අද ගෘහණියන් බොහෝ දෙනෙක් විශේෂිත ආහාර වර්ග සැකසීමේ දී කෘත්‍රිම රසකාරක භාවිත කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඒත් ඉන් ඔබේ ආදරණීයයන්ගේ සෞඛ්‍යයට සිදුවන හානිය අති විශාලයි.

පිළිකා කාරක ලෙස ගැනෙන බොහෝ කෘත්‍රිම රසකාරක බැහැරකර රසවත් චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් නිවෙසේ දී ම හදමු.

මෙහි සඳහන් වන්නේ 6-7 දෙනකුට ප්‍රමාණවත් වන ආහාර වට්ටෝරුවක් වන අතර එය ඔබට කැමැති පරිදි අඩු වැඩි කරගැනීමට පුළුවන්.

 

ඒ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය

කුකුළු මස් කිලෝ 1ක්

බාස්මතී හාල් කිලෝ 1ක්

කැරට් අල 2-3ක්

බෝංචි කරල් 7-8ක්

ලීක්ස් ගසක උඩ කොටස

බී ලූනු ගෙඩියක්

කරදමුංගු, කරාබුනැටි 8ක් පමණ

ඉඟුරු කැබැල්ලක්

සුදු ලූනු බික් 3ක්

රම්පෙ, කරපිංචා

කුරුඳු පොතු කැබැල්ලක්

බටර් හෝ ඔලිව් තෙල් ස්වල්පයක්

ගම්මිරිස්, ලුණු රස අනුව

 

දැන් බත සකසමු:

 

මේ සඳහා පළමුවෙන් ම කුකුළු මස් සෝදා ලුණු, ගම්මිරිස් ස්වල්පයක් හා කරදමුංගු, කරාබුනැටි 4ක් පමණ දමා එයට වතුර ද එක්කර හොඳින් තම්බා ගන්න.

එය තැම්බෙන තෙක් කැරට්, බෝංචි, ලීක්ස්, ලූනු ආදිය සිහින්ව කපා ගන්න. ඉඟුරු, සුදු ලූනු, කරදමුංගු, කරාබුනැටි බ්ලෙන්ඩ් කරගන්න. දැන් බඳුනක් ළිප තබා බටර් හෝ ඔලිව් තෙල් ස්වල්පයක් දමා එය රත් වන විට ලියා ගත් ලූනු දමා බැදගන්න. දැන් බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණය ද එයට එක්කර හොඳින් මිශ්‍ර කරන්න. කැරට්, බෝංචි, ලුණු, ගම්මිරිස් ද මෙයට එකතු කරන්න. එළවළු මඳක් තැම්බීගෙන එන විට එයට ලීක්ස් එක්කර හොඳින් මිශ්‍රකර ළිපෙන් ඉවතට ගන්න.

බාස්මතී හාල් සෝදා වතුර බේරෙන්නට තබන්න. බඳුනකට තෙල් ස්වල්පයක් දමා එය රත්වන විට ලූනු, රම්පෙ, කරපිංචා, කුරුඳු කැබැල්ලක් දමා පසුව එයට හාල් ද දමා තෙම්පරාදු කරගන්න. දැන් මස් තැම්බූ වතුර දමා බත තැම්බෙන්නට හරින්න. (වතුර මඳක් අඩුවෙන් තැබිය යුතුයි.)

දැන් තම්බාගත් කුකුළු මස් තරමක ලොකු කැබැලිවලට කපා ගන්න. බඳුනකට තෙල් දමා මස්ටික ගැඹුරු තෙලේ බැදගන්න. නිවුණ පසු මස්වල කටු ඇත්නම් ඒවා ඉවත්කර කුඩා කැබැලිවලට කඩා ගන්න. දැන් මෙය කලින් සකසා ගත් එළවළු මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න. අවසානයේ දී මේ සියල්ල පිසගත් බතට දමා හොඳින් මිශ්‍ර කරන්න.

ඔබේ කැමැත්ත අනුව මෙයට සොසේජස් ද එකතු කළ හැකියි. එමෙන්ම තම්බා හෝ බැදගත් බිත්තර ද මෙයට ඔබේ කැමැත්ත පරිදි එක් කරගත හැකියි. මේ බත සඳහා චිලි පේස්ට් එකක් හා පිපිඤ්ඤා හෝ ගර්කින් සලාදයක් පමණක් වුවද ප්‍රමාණවත් ය. සාදයකට නම් කට්ලට් ද මේ සමඟ හොඳින් ගැළපේවි.

 

උපදෙස් - චාමලී මදනායක
 

2020/08/19 තරුණි පුවත්පත බලන්න