රස වෑහෙන පලතුරු ජෑම්

සැප්තැම්බර් 23, 2020

 

නැවුම්ව සාදාගත් ජෑම් ස්වල්පයක් පාන් කෑල්ලක තවරලා තේ කෝප්පයකුත් තොලගාමින් රස බලන්න ඇත්නම් මොනතරම්ද? පුංචි දරුවො නම් ගොඩක් සතුටුවේවි. ඉතිං අද අප මේ සූදානම් වන්නේ මෙවර රසාර අතිරේකය මඟින් රසම රස ජෑම් ගෙදරදීම හදාගන්න කියලා දෙන්නයි. මේ ජෑම් ගෙදරදීම හදනවා නම් රසවත්ව වගේම ගුණාත්මක බව රැකගනිමින් හදාගන්නත් ඔබට පුළුවන්.

ඒ වගේමයි මේ ජෑම්වල විවිධත්වයකුත් තිබෙනවා. බොහෝ විට වෙළෙඳපොළේදී පලතුරු රසැති ජෑම් වර්ග තිබුණත් මිරිස්, බිලිං, තක්කාලි වගේ ජැම් වර්ග සොයාගන්න එතරම් පහසු නැහැ. ඒ නිසා ඒ දේවලුත් නිවෙසේදී හදාගන්න මේ අතිරේකයෙන් හැකියාව ලැබේවි.

උපදෙස් - තලවතුගොඩ, කෑගල්ල Fun City Caters (ෆන්සිටි කේටර්ස්) අධිපතිනි,

ආසියානු ලංකා හෝටල් පාසලේ ප්‍රවීණ සූපවේදිනී

සුනේත්‍රා ඒකනායක

 

ඡායා  -  ශාන් රූපස්සර

 

අන්නාසි ජෑම්

 

පලතුරු අතර රසම රස පලතුරක් විදිහට හඳුන්වන්න පුළුවන් අන්නාසිවලින් හදන ජෑම් එකක රස බලන්න කවුරුත් කැමැතියි.

මේ අන්නාසි ජෑම් ගෙදරදීම හදාගන්න පුළුවන් නම් ඒක තවත් වටිනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

අන්නාසි ගෙඩියක්

සීනි ග්‍රැම් 500 ක්

ලෙමන් ගෙඩියක යුෂ

වතුර කෝප්ප 1/2 ක්

සාදන ආකාරය

පළමුව අන්නාසි ගෙඩියේ පොත්ත ඉවත්කර ගන්න. ඉන්පසු ගෙඩියේ මැද නාරටිය කොටස වෙනම කපා ගන්න. ඉතිරි කොටස් කුඩා කැබලිවලට කපාගන්න. (අඟල් 1/4 පමණ කොටු) පසුව මැද නාරටිය කොටස සහ වතුර මිශ්‍රකර බ්ලෙන්ඩර් කරන්න. දැන් මැටි බඳුනක් හෝ වෙනත් භාජනයක් ගෙන (ඇළුමිනියම් භාජන හැර) අන්නාසි කැබලි, සීනි, ලෙමන් යුෂ සියල්ල එම භාජනයට දමා ළිපේ තබා මඳ ගින්නේ උයාගන්න. මිශ්‍රණය හොඳින් උණුවී උකුවී ගෙන එනවිට ජෑම් එකේ පදම නියම ආකාරයට බලා ගතයුතුයි. ඒ සඳහා පීරිසියකට මිශ්‍රණය ටිකක් දමා මිශ්‍රණය මැදින් ඇඟිල්ලෙන් ඉරක් ඇඳගත් විට එකට යා නොවී තිබේ නම් ජෑම් එකේ පදම නියම ආකාරයට ඇත. ඉන්පසු උණු වතුරෙන් තම්බාගත් බෝතල්වලට දමා වසා තබන්න.

2020/09/23 තරුණි බලන්න.