සුපිරි අවන්හලේ හැදෙන කෝපි කෝප්පයක් අපිත් හදලා බලමු ද ?

නොවැම්බර් 4, 2020

ගත සිත විඩාබර මොහොතකට රසම රස තේ කෝප්පයක් වාගේ සිත ගත දෙකම උණුසුම් කරන්නට කෝපි කෝප්පයකට තියෙන්නේ පුදුමාකාර හැකියාවකි.

විශේෂයෙන්ම වැහිබර සීතල දවසක හවසට කෝපි කෝප්පයක් තොල ගානවා කියන්නේ දිව්‍ය ලෝකයේ අමෘතය බිඳක් පානය කරනවා හා සමානයි කියලයි කතාවටත් කියන්නේ.

ඉතින් එච්චරටම රසවත් කෝපි අපිට විවිධාකාරයට සකසා ගන්න පුළුවනි බව ඔබ දන්නවා ද ? විශේෂයෙන්ම කැපචිනෝ ,ඩල්ගොනා, ලාතේ, අයිස් කෝපි ආදී විවිධ නම්වලින් හඳුන්වන කෝපි වර්ග බොහොමයක් විවිධ මිල ගණන් යටතේ අලෙවි වෙනවා. තරමක් විශේෂිත මේ කෝපි වර්ගයන් දකින්න ලැබෙන්නෙත් සුපිරි අවන්හල්වල. එහෙමත් නැතිනම් තරු පන්නයේ හෝටල්වල.ඉතින් හැමෝටම පහසුවෙන් රස විඳීන්න හැකියාවක් නම් නැහැ.

ඔන්න ඒ නිසාම අද අපි සුපිරි අවන්හල්වල සුපිරි නම්වලින් අලෙවිවන කෝපි වර්ග කිහිපයක් ගෙදරදීම සකසා ගන්නා ආකාරයයි මේ කියා දෙන්න සූදානම. ඉතින් මෙතෙක් දවසක් නමින් පමණක් අහල තිබුණු ,පින්තූරවලින් පමණක් රස විඳී ඒ පානයන් ඔබේ දෑතින්ම සකසා ඔබේ ආදරණීයයන්ට පිළිගන්වන්න.

පවුලේ සාමාජිකයන් හැමෝම නිවෙසේ රැඳෙන මේ දවස්වල සවසක කෝපි කේක් කෑල්ලක් එක්ක රස නහර පිනා යන මේ කෝපි කෝප්පයක් බොමු.

 

ඉදිරිපත් කිරීම - - Bhagi's kitchen  හී සූපවේදිනී

භාග්‍යා ගුණවර්ධන තෙන්නකෝන්

 

කෝපි මිශ්‍ර චොකලට් පානය Hot choco

කිරි රසයත්,කොකෝවා රසයත් එකට කැටි වුණු රසම රස චොකලට්වලට කවුද අකැමැති.මතක් කරනකොටත් දිව නැටවෙනවා නේද? ඉතින් කෝපි රසයම ගෙනඑන ඒ රසවත් චොකලට්, කිරි, කෝපි සමඟ මුසු කොට සකස් කරනා උණු උණුම චොකලට් පානයක් ගැනයි මේ කියන්න හදන්නේ.හරිම රසවත්. ඒ වගේම හදන්නත් පහසුයි.

අවශ්‍ය ද්‍රව්‍ය

කිරිපිටි කෝප්ප 1 1/2 ක්

චොකලට් පවුඩර් කෝප්ප 1/2 ක්

සීනි කෝප්ප 1 ක්

කෝන්ෆ්ලවර් පිටි මේස හැඳී 1ක්

මයිලෝ හෝ වෙනත් චොකලට් පානයකින්

කෝප්ප 1/4 ක්(අවශ්‍යම නැත)

ලුණු ස්වල්පයක්

වැනිලා ස්වල්පයක්

කෝපි කුඩු මේස හැඳී 1 1/2 ක්

කිරි කෝප්ප 2 ක්

සකසා ගන්නේ මෙහෙමයි

පළමුවෙන්ම අපි හොට් චොකලට් මිශ්‍රණය සකසා ගනිමු. ඒ සඳහා බඳුනක් ගෙන කිරිපිට්, චොකලට් පවුඩර්, සීනි, කෝන්ෆ්ලවර්, මයිලෝ හෝ වෙනත් චොකලට් පානයකින් ලබාගත් කුඩු ආදී සියල්ලම දමන්න. එයටම රස අනුව ලුණු ස්වල්පයක් සහ කෝපි ටිකත් එකතුකර හොඳට කලවම් කරන්න.

අනතුරුව මේ මිශ්‍රණය සුළං නොවදින බඳුනකට දමා හොඳීන් පියන වසා ශීතකරණයට දමන්න.

දැන් ඉතින් ඔයාට අවශ්‍ය වෙලාවට හොට් චොකලට් හදාගන්න පුළුවනි.

මෙහි දක්වා ඇති ප්‍රමාණ ඔයාට ප්‍රමාණවත් පරිදි වෙනස් කරගන්න.

දැන් අපි බලමු හොට් චොකලට් එක සකසාගන්නා හැටි.

ඒ සඳහා ඔයා කැමති මග් එකක් හෝ කෝප්පයක් අරගෙන මුලින් සකසා ශීතකරණයේ තැබූ මිශ්‍රණයෙන් මේස හැඳී දෙකක් පමණ දමන්න.

අනතුරුව හොඳට උණු කිරි ඔයා කැමති ප්‍රමාණයකුත් දමන්න. හොඳීන් කලවම් කරන්න.

මෙයටම වැනිලා බිංදු දෙකක්, තුනක් ද එකතුකර කලවම් කරන්න. එච්චරයි. දැන් ඉතින් බොන්න තමයි තියෙන්නේ. හරිම පහසුයි නේද ?

 

2020/11/04 තරුණි බලන්න