නත්තල් කෑම මේසයට හදන්න පහසු කෑම

දෙසැම්බර් 23, 2020

නත්තලට තවත් දවස් දෙකයි. මේ දවස් දෙක ගෙවෙන්නේ ගෙදර අයට කන්න රස කෑම වේලක් සකසන්න අවශ්‍ය කළමනා තෝරන්නයි. ඒත් පළමුව කළ යුත්තේ හදන්නේ මොනවද කියා තීරණය කිරීමයි.

ඊට පසුව අවශ්‍ය දේවල් එකතුකර ගැනීම පහසුයි. ඒ නිසාම ඔබේ ළඟින් හිඳින තරුණී මේ දවස්වල කෑමට එකතු කරගත හැකි සරල, පහසු කෑම කිහිපයක වට්ටෝරු මෙලෙස ලබාදෙනවා.

දිවා ආහාරයට මෙන්ම රාත්‍රී ආහාර වේල සඳහාත් ගැළපෙන මෙම කෑම වට්ටෝරු ගෙදර අයගේ මනාපය පරිදි සකසා දිය හැකියි.

මෙයට රස බත් වර්ග, නූඩ්ලස් මෙන්ම කොත්තුවක් ද අන්තර්ගතයි. එ වගේම වැඩි වියදමක් නොදරා පහසුවෙන් සකසා ගත හැකි දේවල් එක්කර ගෙන අති නිසා ඕනෑම කෙනෙක්ට මේවා සකසා රස විඳින්නට හැකියි. නත්තල වෙනුවෙන් මෙම රස ආහාර වට්ටෝරු ඔබට තිළිණ කරන්නේ 'රස ගුණ සමඟ සෙනෙහසින් අපි' සමූහයේ සාමාජිකාවන් කිහිප දෙනෙකි. එසේ නම් ඔබත් පවුලේ සාමාජිකයන් සමඟ නිවෙසේම රැඳී සිටිමින් මේ කෑම සකසා රස බලන්න.

 

ස්තූතිය- 'රස ගුණ සමඟ සෙනෙහසින් අපි' සමූහය මෙහෙයවන සූපවේදිනී

ජනනී ගුණසිංහ වෙත

 

උත්සව බතක්  festive rice

අවශ්‍ය දේවල්

 

බාස්මතී, සුදුරු සම්බා

හෝ කීරි සම්බා කිලෝ ග්‍රෑම් 1 ක්

කුකුළු මස් ග්‍රෑම් 200 ක්

ඉස්සො ග්‍රෑම් 200 ක්

දැල්ලො ග්‍රෑම් 100 ක්

කැරට් අල 2 ක් (ශූද්ධකර හැඩේකට කපාගන්න)

ලීක්ස් ග්‍රෑම් 75 ක් (සිහින්ව කපාගන්න)

තළාගත් සුදුලූනු බික් 4 – 5 ක්

සිහින්ව කපාගත් බීලූනු ගෙඩියක්

අඹරාගත් ඉඟුරු ස්වල්පයක්

චිලි පෙස්ට් ටිකක්

බිත්තර 4 ක්

සෝයා සෝස්

ගම්මිරිස් රස අනුව

ලුණු රස අනුව

සාදන ආකාරය

හාල් සෝදා එයට කුකුළු මස් ස්ටොක් (කුකුළු මස් තැම්බූ වතුර) දමා උයාගන්න.

බිත්තර හතරෙන් 3ක් ගෙන ඒකෙන් ඔම්ලට් එකක් හදා ගනිමු.

බිත්තර තුන බඳුනකට දමා ඒකට කහ පාට කලරිං ටිකක් දමන්න. ලුණු හා ගම්මිරිස් ස්වල්පය බැගින් දමා කලවම් කරන්න. දැන් ඔම්ලට් එක හදන්න. එය සැකසූ පසු ළිපෙන් ඉවත්කර ලස්සන හැඩයකට කපා ගෙන පැත්තකින් තියන්න.

කුකුළු මස් හා දැල්ලන් කුඩාවට කපාගන්න. ඉස්සන් ලොකු නම් කපාගන්න. දැන් ලොකු භාජනයක් ළිපේ තියා ඔබ කැමැති තෙල් වර්ගයක් දමා එයට කුකුළු මස්, ඉස්සො, දැල්ලො දමා හොඳීන් බැදගන්න. ළිපේ ගින්දර අඩුකරන්න. සුදුලූනු, ගම්මිරිස්, ඉතිරි බිත්තරය, ලුණු, ඉඟුරු දමා කලවම් කරන්න. සෝයා සෝස් හා චිලි පේස්ට් ටිකක් දමා හොඳීන් කලවම් කරන්න. එයට බත් ටික දමා කලවම් කරන්න. (ළිපේ දැල්ල වැඩි කර ගන්න) හොඳීන් කලවම් කර ළිපෙන් බාගන්න. දැන් ලස්සනට කපා පසෙකින් තැබූ කැරට්, ඔම්ලට්, ලීක්ස් එයට දමා කලවම් කර මේසයට යවන්න. (ඔම්ලට් එකට කහ පාට එකතු කළේ ලස්සන පාටක් ගන්නයි.)

 

ඉදිරිපත් කිරීම - රුවිනා ද සිල්වා

 

**************

චිලි චිකන් chilli chicken

අවශ්‍ය දේවල්

කුකුළු මස් ගෑම් 400 ක්

බිත්තරයක්

රස අනුව ලුණු

රස අනුව ගම්මිරිස් කුඩු

බීලුනූ ගෙඩි 2 ක්

අමුමිරිස් කරල් 5 ක්

(දෙකට පළාගන්න)

කෝන් පිටි මේස හැඳී 4 ක්

විනාකිරි මේස හැඳී 1 ක්

කහ කුඩු ස්වල්පයක්

චිලි සෝස් මේස හැඳී 2 ක්

සිහින්ව ලියාගත් සුදුලූනු

ස්වල්පයක්

සෝයා සෝස් ස්වල්පයක්

කොළ, රතු සහ කහ බෙල් පෙපර් (අවශ්‍ය පමණ ගෙන කපාගන්න)

ලූනු කොළ

 

 

සාදන ආකාරය

කුකුළු මස් කපා හොඳීන් තෙත බේරාගන්න. එයට බිත්තරය කහ, ලුණු, ගම්මිරිස්, කෝන් පිටි, විනාකිරි, සෝයා සෝස්, චිලි සෝස් දමා කලවම් කර පැය බාගයක් තියන්න.

(කලින් දවසේ මේ දේවල් කලවම්කර ශීතකරණය තුළ තියා ගත්තත් කමක් නැහැ.) දැන් කුකුළු මස් රන්වන් පැහැයක් එනතෙක් ගැඹුරු තෙලේ බැද ගන්න.

බැදගත් මස් පැත්තකින් තියන්න. පසුව ලොකු තාච්චියක් ළිපේ තියා තෙල් ටිකක් දමා සුදුලූනු, පළාගත් අමුමිරිස් කරල් 5 එකතු කරන්න. ගම්මිරිස්, ලුණු, චිලි පේස්ට්, චිලි සෝස්, සෝයා සෝස් දමා කලවම් කරන්න.

දැන් කුකුළු මස් එකතුකර හොඳීන් කලවම් කරන්න.එයට කපාගත් ලූනු කොළ, බීලූනු, බෙල් පෙපර් ටික එකතුකර එසැණින් ළිප නිවා ගන්න. දැන් මේසයට අරින්න.

 

 

දිරිපත් කිරීම

රුවිනා ද සිල්වා

 

2020/12/23 තරුණි පුවත්පත බලන්න