උඳුවප් අසිරිය ගෙනෙන හිම වැටුණු නත්තල් ගස්

දෙසැම්බර් 23, 2020

සීතල උඳුවප් මහේ අසිරිමත් නත්තල සමරන්නටයි මේ. හිම වැටුණු නත්තල් ගස් පිරුණු වටපිටාවක් සුන්දරව ගෙන එන කේක් එක නත්තල අපූර්ව ලෙස ප්‍රති නිර්මාණය කර ඇති ආකාරය බලන්න.

හිම වැටෙන සිතල පරිසරයේ ෆයිනස් කැලයක් දිස්වෙන ආකාරයෙන් ඔබේ කේක් නිර්මාණය සකස් කරගන්න. එය නත්තල් මේසය මත තබා ගෙදර අයගේ සතුට සමඟ නත්තල සතුටින් සමරන්න.

නිවෙසේ අය සමඟ සතුටු සාමීචියේ යෙදෙමින් තේ වෙලාවට කන්න මෙවැනි කේක් එකක් ඔබටත් පහසුවෙන් සෑදිය හැකියි.

ඒ සඳහා අපි මුලින්ම කේක් එක සාදාගනිමු.

 

අවශ්‍ය දේවල්

සීනි ග්‍රෑම් 500 ක්

බටර් ග්‍රෑම් 500 ක්

පිටි ග්‍රෑම් 500 ක්

බිත්තර 8 ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 30 ක්

වැනිලා තේ හැඳි 2 ක්

බනානා එසන්ස් බින්දු 2 ක්

කිරි මේස හැඳි 2 ක්

සාදමු

බටර් හා සීනි හොඳින් ගසාගන්න. එම මිශ්‍රණයටම බිත්තර එක බැගින් එක් කරමින් ගසාගන්න. එයටම වැනිලා සහ බනානා එසන්ස් එකතු කරන්න. පිටි සහ බේකිං පවුඩර් හොඳින් හලා ගන්න.

දැන් බටර්, සීනි, බිත්තර මිශ්‍රණයට පිටි ටික ටික එකතු කරමින් හොඳින් කලවම් කරන්න. නැත්නම් ලෝ ස්පීඩ් බිට් කරන්න. දැන් කිරි එකතුකර කලවම් කරන්න. සාදාගත් මිශ්‍රණය සමාන කොටස් තුනකට වෙන් කරන්න.

අඟල් 8 සයිස් තැටි තුනක් ගෙන බේකිං පේපර් යොදා සකස් කරගෙන ඒ මත කේක් මිශ්‍රණය අතුරන්න. (මේ සඳහා රවුම් තැටි නැත්නම් බිස්කට් ටින් තුනක් වුණත් ගන්න පුළුවන්.)

දැන් කේක් බේක් කරගත යුතුයි. විනාඩි 8 කට විතර කලින් රත්කරගත් සෙල්සියස් අංශක 180 උෂ්ණත්වයෙන් යුතු අවන් එකේ විනාඩි 35 ත් 40 ත් අතර බේක් කරන්න.

බේක් කරගත් කේක් එක අවන් එකෙන් එළියට ගෙන හොඳින් නිවෙන්න තියන්න. දැන් හොඳින් නිවුණු කේක් එක අයිසිං මඟින් නත්තල් ගස් සාදා හැඩ කරගනිමු

අයිසිං එක සඳහා

බටර් ග්‍රෑම් 500 ක්

අයිසිං ෂුගර් කිලෝග්‍රෑම්1 ක්

වැනිලා තේ හැඳි ½ ක්

කිරි මේස හැඳි 1 ක්

නත්තල් ගස් සඳහා

අයිස් ක්‍රීම් කෝන් කිහිපයක්

කොළ පාට ජෙල් කලර්

අපි මුලින්ම කේක් එක අයිසිං මඟින් කවර් කර ගනිමු.

බටර්, අයිසිං ෂුගර්, වැනිලා, කිරි එකට එකතු කර ක්‍රීම් එකක් වනතුරු බිට් කරන්න. දැන් සාදාගත් බටර් අයිසිං එකෙන් ⅓ ක ප්‍රමාණයක් නත්තල් ගස් සැරසීමට වෙන් කරගන්න. ඉතිරි බටර් අයිසිං ‍⅔ කේක් එක කවර් කිරීමට වෙන්කරගන්න. නිවුණු කේක් තුනම උඩ ලෙවල් කරගන්න. වටේ සහ උඩ යට දුඹුරු පොත්ත අයින් කරගන්න.

බටර් අයිසිං මැදට එක් කර කේක් තුනම සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු උඩ සහ වටේ බටර් අයිසිංවලින් කවර් කරගන්න.

නත්තල් ගස් සකස් කරගනිමු

නත්තල් ගස් සඳහා වෙන් කරගත් බටර් ක්‍රීම් එකට කොළ වර්ණකය එක් කරන්න. කේක් එක උඩට රඳවන්න අයිස් ක්‍රීම් කෝන් තුනක් සයිස් තුනකට ගන්න. (අවශ්‍ය පමණට කෝන් කපාගන්න.)

කේක් එක වටේට නත්තල් ගස් රැඳවීම සඳහා අයිස් ක්‍රීම් කෝන් එක හරි මැදින් වෙන්කර කොටස් දෙකක් වෙන්න ගන්න. දැන් මේ දෙකකට වෙන්න කපාගත් කෝන් කොටස් කේක් එක වටේම රඳවන්න. උස වෙනස් විදියට පෙනෙන අයුරින් උස සහ මිටි ගස් ලෙස රැඳවීමට සැලකිලිමත් වෙන්න. දැන් ස්ටාර් නොසල් එක මඟින් නත්තල් ගහේ කොළ යොදන්න. උඩට රඳවන්න කෝන් තුනත් මේ විදියට ස්ටාර් නොසල් එකෙන් කොළ තබා නත්තල් ගසක් ආකාරයෙන් හැඩ කරගන්න. අවසානයේ දී උඩින් හිම වැටෙන අයුරු දිස්වෙන ආකාරයෙන් පෙනෙන්නට අයිසිං ෂුගර් හොඳින් ඉසගන්න.

 

 

ඉදිරිපත් කිරීම - ඉතාලියේ පර්මාහි සූපවේදිනී

ජනනී ගුරුසිංහ