කුළුබඩු ටිකක් වැඩිපුර යොදා හැමදාම කන බත් වෙනස් විදිහකට හදමු

පෙබරවාරි 3, 2021

 

ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධානතම ආහාරය බත්. උදේ, දහවල, රාත්‍රී වශයෙන් ප්‍රධාන වේල් තුනටම බත් අනුභව කරන්න තමයි ඈත අතීතයේ සිටම අප පුරුදුව සිටින්නේ.

හැබැයි හැමදාමත් ආහාරයට ගන්නා නිසාමදෝ බත් කන්න සමහරු අකැමැතියි. ඒ වගේම තමයි පුංචි පැටවුන්ට බත් ටිකක් කවාගන්න ලොකු යුද්ධයක් කරන්නත් ඕනේ.

ඉතින් හැමදාමත් එකම විදිහට රස විඳින මේ බතට පුංචිවට හෝ වෙනසක් කළහොත් බෑ කියන අයත් හරි අපූරුවට රසවිඳීවි නේද? නිවෙසට නැදෑ හිත මිතුරෙක් ගොඩ වැදුණොත් විශේෂ ආහාර වේලක් සූදානම් කරන්නත් අපි අමතක කරන්නේ නැහැ. ඉතින් ඒ වගේ වෙලාවටත් හරිම පහසුවෙන්, ඉක්මනින් සකසාගන්න බත් ටිකක් තමයි මේ තියෙන්නෙ.

මේ බත් සඳහා එතරම් විශේෂ දේවල් මිශ්‍රකර නැහැ. අප එදිනෙදා ආහාරයට එක්කර ගන්නා කුළුබඩු ටිකක් තමයි වැඩියෙන් භාවිතකර තිබෙන්නෙ. ඒ වගේම මෙහි සඳහන් දේවල් අවශ්‍යම නැහැ. ඔබේ මුළුතැන්ගෙය තුළ ඇති සහල් වර්ගයක් සහ වෙනත් දේවල් තියෙන විදිහට මිශ්‍රකරලා බත සකසා ගන්න. මේ බත් සමඟ රස විඳින්න ව්‍යංජන, මස්, මාළු, බැදුම් වැඩි වශයෙන් අවශ්‍යත් නැහැ. එළවළු සලාදයක්, චිලි පේස්ට් ටිකක්, පපඩමක්, කට්ලට් එකක් හොඳටම සෑහෙනවා.

එහෙමනම් මේ විදිහට බත් සකස්කරලා පවුලේ සාමාජිකයන්ගේ ප්‍රතිචාර කොහොමද කියලා බලන්නකෝ.

 

උපදෙස් සූපවේදිනී

භාග්‍යා ගුණවර්ධන

 

බතට වතුර තියන්නේ මෙහෙමයි

 

ඈත අතීතයේ අපේ අම්මලා ගෘහණියකගේ ඉවුම් පිහුම් හැකියාව මැන බැලුවේ නිවැරැදිව බතක්, හොද්දක් පිසින ආකාරය බලලයි. ඒ කියන්නෙ බෙරි නොවී, ඇට්ටකුණා නොවී, රොස් වෙලා අඩිය නොඅල්ලා බතක් පිසගන්නට පුළුවනි නම්, කිරි ටික කැටි නොගැසී හොද්දක් සාදා ගත හැකි නම් ඇය හොඳට ඉවුම් පිහුම් දත් ගෘහණියක් කියලයි කිව්වෙ.

වර්තමානයේ අපේ කාන්තාවන් බත් පිසින්නෙ රයිස් කුකර් එකේ. ඒ නිසා බත පිළිබඳ ගැටලුවක් නැහැ. නමුත් හදිසියේ හරි විදුලිය නැති වුණොත් හරි කරදරයක් තමයි සිදුවන්නෙ. ඒ වාගෙ වෙලාවට ළිපේ හරි බත පිසගන්න අපි දැනගෙන ඉන්න ඕනේ.

සාමාන්‍යයෙන් ළිපක බත පිසගන්නවා නම් උයන සහල් වර්ගය වාගේම ඊට තබන වතුර පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. ඒ නිසා සහල් වර්ග කිහිපයකට ජලය දැමිය යුතු ආකාරය මේ විදිහට දක්වන්නම්.

 

  •  බාස්මති සහල් කෝප්ප 01ක් ජලය කෝප්ප 1¼ ක්
  •  කීරි සම්බා සහල් කෝප්ප 01ක් ජලය කෝප්ප 1 1/3 ක්
  •  සුවදැල් සහල් කෝප්ප 01ක් ජලය කෝප්ප 1½ ක්
  •  කැඩුණු සහල් කෝප්ප 01ක් ජලය කෝප්ප 02 ක්
  •  කීරි කැකුළු සහල් කෝප්ප 01ක් ජලය කෝප්ප 02½ ක්
  •  රතු කැකුළු සහල් කෝප්ප 01ක් ජලය කෝප්ප 02 ක්
  • දතම්බපු සහල්/නාඩු සහල් කෝප්ප 01ක් ජලය කෝප්ප 2¼ ක්

 

නිවැරදිව බත පිසගනිමු

 

ඕනෑම සහල් වර්ගයකින් බත පිසගන්න නම් පළමුව සහල් ටික හොඳින් සෝදා ගත යුතුයි. හොඳට අතුල්ලලා හතර පස් වතාවක් පමණ සෝදා ගතයුතු අතර සහල් සෝදන වතුරෙහි පැහැදිලි පාටක් ලැබෙන තෙක් සහල් සෝදා ගතයුතුයි.

මේ විදිහට සහල්වල පොත්තෙහි ඇති ගුණය වතුරට හේදිලා යන නිසා වැඩිය අතුල්ලලා හෝදන්න එපා කියලයි ඉස්සර නම් කිව්වෙ.

නමුත් වර්තමානය වනවිට විවිධ කෘමිනාශක, කල් තබාගන්නා ද්‍රව්‍ය මේ සහල්වලට මිශ්‍ර කරන නිසා හොඳින් සෝදා ගැනීම අත්‍යවශ්‍යයි.

ඔබ සෝදාගත් සහල්වලින් සාමාන්‍ය බතක් පිස ගන්නේ නම් බත රස සහ සුවඳවත්වීම හරිම වැදගත්. ඒ සඳහා රම්පෙ කොළ කැබැලි දෙක තුනක් අතින් පොඩිකර බතට දමා වසා තබන්න. එහෙමත් නැතිනම් කරාබු නැටි දෙකක්, තුනක්, කුරුඳුපොතු කැබැල්ලක්, කරදමුංගු කරලක් දෙකක් දමන්න. එවිට බතෙන් හොඳ සුවඳක් හමාවි.

සහල් ටික සෝදා ළිප තබනවිට දෙහි බිංදු 03ක් 04ක් දමන්න. එවිට බතට හොඳ සුදු පැහැයක් ලැබේවි. බතෙහි ඇලෙනබවත් නැති වෙනවා. බත පහසුවෙන් නරක් වෙන්නෙත් නැහැ. ඇතැම් සහල්වල ඇති අවපැහැ පෙනුම නැතිකරන්න මේ දෙහි බිංදු කිහිපය ප්‍රමාණවත්.

අපේ බොහොමයක් ගෘහණියන් බත පිස ගැනීමේ දී ලුණු එකතු කරනවා. නමුත් අපේ ශරීරයට ලුණු එතරම් විශාල ප්‍රමාණයක් අවශ්‍ය නොවන නිසා වෛද්‍ය උපදේශය නම් බතට ලුණු දමන්න එපා කියන එකයි.

බාස්මති සහල් හෝ කිරි සම්බාවලින් බත පිස ගැනීමේ දී බටර් ටිකක් මිශ්‍ර කරන්න. එවිට නොඇලී ලස්සනට බත් ඇට වෙන්වෙලා තියේවි.

බත තැම්බුණු පසුව කිහිප සැරයක්ම හොඳට කුරු ගාන්න. එවිටත් බත් ඇට හොඳින් වෙන් වෙනවා.

ඒ වාගේම තමයි බත පිස ගැනීමට භාවිතකරන භාජනය ගැනත් අපි හිතන්න ඕනේ. මොකද පුංචි භාජනයක සහල් වැඩි ප්‍රමාණයක් තිබීමෙන් හොඳට කූරු ගා පිසගන්න බෑ. දෙදෙනකුට වාගේ නම් විශාල බඳුනක් අවශ්‍යත් නැහැ. ඉතින් ඔබ පිස ගන්නා සහල් ප්‍රමාණය අනුව බඳුන තෝරා ගන්නත් අමතක කරන්න එපා.

 

 

සෝයා මීට් ෆ්‍රයිඩ් රයිස්

නිර්මාංස ආහාර ගන්න අපේ අය වෙනුවෙන් තමයි මේ බත් වර්ගය රැගෙන ආවේ. හැබැයි නිර්මාංස කියලා නෑ ඕනැම කෙනකුට රස විඳින්න පුළුවනි. හරිම රසවත්.

ඒවාගේම තමයි සෝයාමීට් කියන්නෙ පුංචි පැටවු හරිම ආසාවෙන් රස විඳින දෙයක්. ඉතින් ඒ සෝයා මීට් මිශ්‍ර කරලා ෆ්‍රයිඩ් රයිස් එකක් හදල බලන්නකෝ කොහොමද පොඩ්ඩන්ගෙ ප්‍රතිචාර කියලා.

 

බත පිසගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය:

 

කීරි සම්බා හෝ කැඩුණු සහල්

කෝප්ප 02 ක්

බටර් හෝ පොල්තෙල්

තේ හැඳි ½ ක්

තළාගත් සුදුලූනු තේ හැඳි ½ ක්

සූදුරු තේ හැඳි 01 ක්

බේ ලිව් 01ක්

සාදන ක්‍රමය

සහල් ටික හොඳින් සෝදා

බඳුනකට දමන්න.

එයට බේ කොළයක්, සූදුරු,

සුදුලූනු, බටර් හෝ පොල්තෙල් ආදිය දමන්න. අවශ්‍ය පමණට ජලය දමා බත ඉදෙන්නට තබන්න.

මේ වනවිට ඉහත සඳහන් කළ ආකාරයට සෝයා මීට් ටික හොඳින් සීසන් වී තිබේවි. එබැවින් පොල්තෙල් ටිකක් බඳුනකට දමා ළිප තබා සෝයා මීට් ටික බදින්න.

රන්වන් පැහැයට බැදගත් සෝයා ටික තෙල් බේරෙන්නට තබන්න. මෙහිදී ටිෂූ පේපර් එකක් මතට නොදමන්න. මන්ද එමඟින් සෝයාවල රසට හැපෙන ක්‍රිස්පි ගතිය නැති වේවි.

ෆ්‍රයිඩ් රයිස් එක හදමු

අවශ්‍ය ද්‍රව්‍ය:

තළාගත් ඉඟුරු සුදුලූනු ටිකක්

ලියාගත් රටලූනු ගෙඩියක්

ග්‍රේට් කරගත් කැරට් අලයක්

රම්පෙ, කරපිංචා ස්වල්පයක්

සිහින්ව ලියාගත් ගෝවා ටිකක්

ලියාගත් තක්කාලි ගෙඩි දෙකක්

සිහින්ව ලියාගත් ලීක්ස් ටිකක්

කෑලි මිරිස් තේ හැඳි දෙකක්

කහ ස්වල්පයක්

ගම්මිරිස් තේ හැඳි ½ ක්

සිහින්ව කපාගත් අමු මිරිස්

කරල් 03 ක්

වියළි මිදි මේස හැඳි 02 ක්

යෝගට් හෝ ෆ්‍රෙෂ් මිල්ක්

මේස හැඳි 03 ක්

රස අනුව ලුණු

සාදන ක්‍රමය

කලින් සෝයා මීට් බැද ඉතිරි වූ තෙල් ටිකක් ළිප තබා එයට තළාගත් ඉඟුරු, සුදුලූනු ටික දමන්න. එය බැදීගෙන එනවිට රම්පේ, කරපිංචා ද දමන්න.

අනතුරුව හීනියට කපාගත් තක්කාලි ටික දමන්න. මේ තක්කාලි හොඳින් බෙරි වෙනකොට ලියාගත් රටලූනු එකතු කරන්න.

ලුනු බැදීගෙන එනවිට කෑලි මිරිස්, කහ, ගම්මිරිස්, ලුණු ආදිය එකතු කරන්න.

එයටම ග්‍රේට් කරගත් කැරට්, ගෝවා සහ යෝගට් හෝ කිරි ටිකක් දමන්න. මේ එළවළු තැම්බෙනතුරු හොඳින් පිසගන්න.

ඉස්ම ගතිය අඩු වී එළවළු ටික තැම්බුණු පසුව අමුමිරිස් සහ වියළි මිදි එකතු කරන්න. අනතුරුව පිසගත් බත සහ බැදගත් සෝයා ටිකත් දමා හොඳින් කලවම් කරන්න.

අවසානයට සිහින්ව ලියාගත් ලීක්ස් ටික ද දමා කලවම්කර ලුණු රස බලා ළිපෙන් බාගන්න.

කටින් කටට බැදගත් සෝයා හැපෙන නිසා මේ බත සමඟ ව්‍යාංජන නැතත් කමක් නැහැ.