පෝෂණය සපිරි රස සුපිරි සුප්

පෙබරවාරි 17, 2021

ලාංකේය අපේ ආහාර රටාව ලොව බොහොමයක් රටවලට වඩා වෙනස්ය. අපි උදේ, දවල් සහ රාත්‍රී ලෙසින් ප්‍රධාන ආහාර වේල් තුනක් ගන්නා අතර උදේ 10 ට පමණත් සවස 3 ට පමණත් තේ, ඔසු පැන් හෝ ශීත කළ බීම සමඟ කෙටි කෑමක් ගැනීමටත් පුරුදුව හිඳින්නෙමු.

මේ සංකීර්ණ ආහාර රටාවත් සමඟ බොහොමයක් දෙනා ව්‍යායාමවලින් තොරව කෑම ගැනීමටම පමණක් හුරුපුරුදු වීම මත ලෙඩ රෝග රැසකටම ගොදුරුව හිඳී.

ඒ නිසා අපි දැන්වත් මේ ගැන කල්පනා කර සෞඛ්‍ය රැකගැනීමට අපේ සංකීර්ණ ආහාර රටාව වෙනස්කර සරල ආහාර රටාවකට හුරුවිය යුතුª වෙමු. උදේට සහ දවල්ට බත් හා එවැනි බර ආහාර වේලකට හුරුවුවත් රාත්‍රී ආහාර වේල සැහැල්ලු එකක් වන්නේ නම් අපිට හැදෙන බොහොමයක් රෝග රැසක් එමඟින් වළකා ගත හැකියි.

රාත්‍රීයට බර ආහාර ගන්නා බොහෝ දෙනා ඉක්මනින්ම නින්දට යාම පුරුද්දක් කරගෙන හිඳිති. එහෙත් රාත්‍රී ආහාරය ගත යුත්තේ නින්දට යාමට පැය තුනකටවත් පෙරය. ඒ නිසා ම අපි සිරුරට අවැසි සම්පූර්ණ පෙර්ෂණය සහිත සරල ආහාර රටාවක් අනුගමනය කරන්නේ නම් දියවැඩියාව, කොලෙස්ටරෝල් මෙන්ම හදවත් රෝග ද වළකවා ගත හැකියි.

සරල ආහාර ගැන කතා කරද්දී අපේ මතකයට නැඟෙනනේ සුප්ය. එහෙත් ලාංකේය බොහොමයක් දෙනා සුප් ලෙසින් හඳුන්වන්නේ එළවළු වර්ග රැසක් එකට එක්කර තම්බා සකසන සුප්ය. එහෙත් මේ සුප්වලට අමතරව දිවට රසයත් සිරුරට පෝෂණයත් ගෙන දෙන විවිධ සුප් වර්ග බොහෝය. අද අපි එවැනි රසවත් සුප් වර්ග කිහිපයක් සකසන ආකාරය ගෙන එන අතර මේවා පවුලේ සියල්ලන්ටම එක්ව රස විඳිය හැකියි. 'කෑම රූප' සමූහයේ ආදරණීය සොහොයුරියන් වන අර්ජුනී රණතුංගට සහ තුෂාරි සෙනෙවිරත්න ට ස්තූතිවන්ත වෙමින් මේ කෑම සකසන ආකාරය විමසා බලමු

 

ඡායාරූපය හා උපදෙස්

ප්‍රතිභා නරසිංහ

 

ලීක්ස් සුප්

අවශ්‍ය දේවල්

ලීක්ස් කොළ නැතුව

දඬු 3 ක්

අර්තාපල් අල ගෙඩියක්

ලූනු ගෙඩියක්

සුදු ලූනු බික් දෙක තුනක්

බටර් මේස හැඳී තුනක්

පාන් පිටි මේස හැන්දක් (මඳක් බැදගන්න)

ස්ටොක් කප් එකක්

ඩ්‍රයි රෙඩ් වයින් කෝප්ප කාලක් (නැතත් කමක් නෑ)

 

 

 

සාදන අයුරු

ලීක්ස්, අල, ලූනු පොඩියට කපාගන්න. බඳුනක් ළිප තබා බටර් දමා රත්වෙනකොට සුදු ලූනු, ලූනු ටික දමා බැදගන්න. එයටම ලීක්ස් ටික ද දමා මඳ වේලාවක් තෙලෙන් තැම්බෙන්න විට පාන් පිටි මේස හැන්ද එක් කරන්න. ඉන්පසු වතුර අවශ්‍ය පමණට දමා ස්ටොක් කෝප්පය ද දමා අල ටික එක් කරගන්න. මේ සියල්ල මඳ ගින්නෙ පිසගෙන ළිපෙන් බාන්න ළංවෙන විට වයින් ටික ද එක් කරන්න. අවසානයට පිසගත් සුප් එක නිවෙන්නට හැර බ්ලෙන්ඩර් කරගෙන ලුණු, ගම්මිරිස් එක් කරන්න. තිබේනම් සිහින්ව කපාගත් සැල්දිරි ටිකක් උඩින් දමා අලංකාරව සරසා උණුසුම්ව පිළිගන්වන්න.

********************

 

 

ලූනු සුප්

අවශ්‍ය දේවල්

ලොකු ලූනු ගෙඩි 2 ක්

රස අනුව ලුණු

ඔලිව් තෙල් මේස හැඳි 1 ක්

ගම්මිරිස් තේ හැඳි ½ ක්

සීනි තේ හැඳි ⅓ ක්

පිටි තේ හැඳි 1 ක්

ඇපල් සයිඩර් හෝ රෙඩ් වයින්

මේස හැඳි 1 ක්

වෙජිටබල් හෝ චිකන් ස්ටොක්

මිලි ලීටර් 300 ක්

නැවුම් තයිම් ඉත්තක්

මොසරැල්ලා, පාර්මසන් චීස්

කුඩා පාන් කැබලි

සාදන ආකාරය

පළමුවෙන්ම භාජනයක් ළිප තබා එයට ඔලිව් තෙල් එක්කර ගන්න. තෙල් රත් වූ විට එයට හීනියට කපා ගත් ලූනු ටික එක් කරගන්න. ලූනු විනාඩි 15ක් පමණ ලස්සන රන්වන් පැහැයක් වනතෙක් පිස ගන්න. ඉන්පසු එයට ලුණු, ගම්මිරිස්, සීනි එකතු කරගෙන තවත් විනාඩි 2 ක් පමණ මඳ ගින්නේ පිස ගන්න.

දැන් එයට පිටි ටික එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න. ඉන්පසු එයට වයින් හෝ විනාකිරි සහ නැවුම් තයිම් ඉත්තක් එකතු කරන්න. එයටම වෙජිටබල් ස්ටොක් එක එකතු කරගෙන හොඳින් කලවම් කරමින් විනාඩි 5 ක් පමණ මඳ ගින්නේ පිසගන්න.

අවසානයේ දී අවන් එකට දැමිය හැකි බඳුනක් ගෙන එයට සාදාගත් සුප් අවශ්‍ය පමණ එකතු කරගෙන උඩින් දෙපැත්ත පුලුස්සා ගත් පාන් කැබලි තබා (රූපයේ පෙනෙන පරිදි) ඊට උඩින් ගා ගත් චීස් අතුරා ගන්න.

සෙල්සියස් අංශක 180 ට චීස් දියවී රන්වන් පැහැ වන තුරු පුලුස්සා ගන්න.

 

ඡායාරූපය හා උපදෙස්

උදේශිකා වනිගසූරිය