අපේකම පිරි ගමේ කෑමක රසය

පෙබරවාරි 24, 2021

 

ලෝකයේ රසවත්ම කෑමක මිහර ඇත්තේ ආසියාවේය. ඒ අතුරින් දකුණු ආසියාවේ ඉන්දියාව හා ශ්‍රී ලංකාවට සුවිශේෂීත්වයක් හිමි වන්නේ ලෝකයේ කෑම බන්දේසිය නම හිමිකර ගනිමිනි. එයට ප්‍රධාන හේතුව වන්නේ මේ මහ පොළොවේ ඇති සංශ්‍රීකත්වයයි.ඒ නිසාම අප වර්තමානයේ මුහුණ දී ඇති වසංගත රෝගී තත්ත්වයෙන් මිදී ආරක්ෂා වීමේ විශාල ශක්තියක් හා ප්‍රතිශක්තියක් ලැබී ඇත්තේ මෙම කෑම බීමවල ඇති විශාල ශක්ති මහිමයෙනි. එය අපගේ ගෘහණියන් ද හොඳින්ම අවබෝධ කරගෙන තිබීම අගය කළ යුත්තකි. දේශීය කෑම බීම අගයන ශෘහණියන් අපගේ මුළුතැන්ගෙයින් ඈත්වුණු කෑම සැදීමට දැඩි උනන්දුවක් හා උත්සාහයක් ගනී.

ඒනිසා අපි එවැනි දේශීය ආහාර වට්ටෝරු කිහිපයක් අදත් ඔබට තිළිණ කරන්නෙමු. මෙම වට්ටෝරු සඳහා අවශ්‍ය එළවළු සහ පළා වර්ග ගෙවත්තෙන් පහසුවෙන් සොයා ගතහැකි වෙයි.

මෙම කෑම වට්ටෝරු පෙළ තිළිණ කරන්නේ දේශීය කෑම පිළිබඳ හොඳ දැනුමක් හා අවබෝධයක් ඇති සූපවේදිනියකි. දේශීය කෑම පිළිබඳ විශේෂ ග්‍රන්ථයක් ද පළ කර ඇති නිකිණි නේත්‍රාංජලී බණ්ඩාර නම් වූ ඇය ජනප්‍රිය ලේඛිකාවක් ද වෙයි.

 

උපදෙස් සූපවේදිනී

නිකිණි නේත්‍රාංජලී බණ්ඩාර

 

වැල් පෙ‍නෙල දලු මිරිසට

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

වැල් පෙනෙල දලු මිටි 1 ක්

පොල්තෙල් ස්වල්පයක්

කහ කුඩු, කෑලි මිරිස්

තුනපහ කුඩු ස්වල්පයක්

ලුණු රස අනුව

රතුලූනු ගෙඩි 8 ක් පමණ

උම්බලකඩ

අබ, ගම්මිරිස්

අමු මිරිස් කරල් 3 ක්

කුරුඳු, කරපිංචා, රම්පෙ

දෙහි

සාදන ක්‍රමය

වැල් පෙනෙල දලු හා නොමේරූ කොළ මේ සඳහා ගන්න. උයන විට විට හැකිළී අඩුවන බැවින් ටිකක් වැඩිපුර ගන්න. මෝරන ලද නැටි ඉවත්කර සෝදාගත් පෙනෙල දලු භාජනයකට දමා එයට කහ කුඩු, කෑලි මිරිස්, තුනපහ ස්වල්පයක් එකතු කරන්න. රතුලූනු සිහින්වට ලියාගන්න. අමු මිරිස් දිගට කපාගන්න. ලුණු කුඩු, ගම්මිරිස්, කුරුඳු, කරපිංචා, රම්පේ, උම්බලකඩ එකතු කරන්න. සියල්ලම හොඳීන් මිශ්‍ර කරන්න.

බඳුනක් ළිප තබා තෙල් ස්වල්පයක් දමා රත්වන විට එයට අබ, ලියාගත් රතුලූනු ගෙඩියක්, කරපිංචා කොළ කිහිපයක්, රම්පේ කැබැල්ලක් එකතු කරන්න. රන්වන් පාටින් බැදෙන විට පෙර සූදානම් කරගත් පෙනෙල දලු එයට එකතු කරන්න. ගින්දර අඩුකර විනාඩි 3 ක් 4 ක් පමණ ඉතාම කෙටි කාලයක් පිසගන්න. කොළ පැහැය රැක ගැනීමට පිසින විට නොවසා කලවම් කරන්න.

ඔබට කැමැති නම් ළිපෙන් ඉවත් කළ පසුව දෙහි බින්දු කිහිපයක් එකතු කරන්න. මුරුංගාවලටත් වැඩි වාජීකරණ ගුණයක් ඇති පෙනෙල ධාතු වඩන ඉතා පෝෂ්‍යදායක ආහාරයකි. ඒ නිසාම ව්‍යාංජන සහ කැඳ වශයෙන් ද පෙනෙලවලට ඇත්තේ දැඩි ඉල්ලුමකි.

 

 

බිම්මල් සමඟ බිත්තර බැදුම

 

අවශ්‍ය ද්‍රව්‍ය

බිම්මල් පැකට් 1 ක්

පොල්තෙල් ස්වල්පයක්

බිත්තර 3 ක්

අමුමිරිස් හෝ කොච්චි

ගම්මිරිස් කුඩු, කහ කුඩු ස්වල්පයක්

උම්බලකඩ ස්වල්පයක්, ලුණු, රතුලූනු, කරපිංචා

සාදන ක්‍රමය

බොත්තම් බිම්මල් හැර පැතලි හැඩයේ බිම්මල් ගෙන උණුවතුරෙන් සෝදා තෙත හැර සිහින්වට ඉරාගන්න. කරපිංචා, රතුලූනු, කොච්චි හෝ අමුමිරිස් (පොඩි දරුවන්ට නම් මිරිස් දාන්න එපා) සිහින්ව කපාගන්න. ගම්මිරිස් කුඩු, ලුණු කුඩු සහ කහ ඉතාම ස්වල්පයක් එකතු කරගන්න. ටික වේලාවක් හොඳීන් වසා තබන්න.

බඳුනකට බිත්තර කඩා එකතු කරන්න. බිත්තර වෙන වෙනම පීරිසියකට කඩා පසුව බඳුනට දාන්න. නරක් වූ බිත්තර තිබුණොත් සියල්ලම ඉවතට දාන්නට සිදුවේවි. ඔබට පහසු ආකාරයට බිත්තර ටික එකම පැත්තට පෙන නඟිනතුරු හොඳීන් මිශ්‍ර කරන්න. පසුව බිම්මල් සහ අනෙක් ද්‍රව්‍ය ඊට එකතුකර කලවම් කරන්න. උම්බලකඩ එක්කරන්නට හැකි නම් පමණක් එක්කරන්න.

නොඇලෙන පැතලි බඳුනක් ළිප තබා පොල්තෙල් ස්වල්පයක් දමා රත්වන විට මිශ්‍රණය එයට වත්කර හැන්දකින් තුනීකර වසන්න. ගින්දර අඩුවෙන් තබන්න. එක් පැත්තක් තැම්බුණ පසුව පරෙස්සමට අනිත් පැත්තට හරවන්න. එය ඔබේ හැකියාව මත නොකැඩී හරවා ගත හැකියි. ඉතාම කෙටි වේලාවකින් රසවත්ව පිළියෙල කරගත හැකියි. ඔබට අවශ්‍ය නම් අමුත්තන් පැමිණි විටෙක තක්කාලි, බී ලූනු පෙති කිහිපයක් සහ හුමාලයෙන් තම්බාගත් කැරට්, බීට්, බෝංචි, අර්තාපල් වැනි එළවළු වර්ගවලින් පෙති කපා සරසා මේසයට යැවිය හැකියි. එවිට එම එළවළු මතට ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරන්න. දෙහි පෙති කිහිපයක් තැන් තැන්වලින් තියන්න.

 

 

අළු පුහුල් ඇඹුල

 

අවශ්‍ය ද්‍රව්‍ය

හොඳට පැසුණු අළු පුහුල් ගෙඩියක්

පැසුණු පොල් ගෙඩි 1 ක්

බදින ලද මිරිස් කුඩු

ගම්මිරිස් කුඩු, කළු කුඩු

ලුණු, බදින ලද තුනපහ කුඩු

ගොරකා හෝ සියඹලා

කුරුඳු, කබලේ බදින ලද කරපිංචා, රම්පේ

ඉඟුරු කෑල්ලක්

එනසාල් කරල් එකක්, කරාබු නැටි දෙකක්

සාදන ක්‍රමය

මේ සඳහා කටුව සවිමත් අළු පුහුල් ගෙඩියක් තෝරාගන්න. ඇඹුලට ළපටි ගෙඩි සුදුසු නොවේ. පළමුව පිහියක් ගෙන පුහුල් ගෙඩියේ අළු සූරන්න. පසුව සවිමත් ලීයක් උල්කරගෙන (පෑනක් තරම් ලොකු, අතට අල්ලා ගැනීමට පහසු ප්‍රමාණයේ) පුහුල් ගෙඩියේ හැමතැනටම අනින්න. අඟලක් පමණ යටට සිදුරු කරන්න. මෙලෙස ගෙඩිය පුරාම සිදුරු කරගෙන අවසානයේ දී අඟල් එකහමාරක පමණ කැට කපාගෙන ඇට ඉවත්කරන්න.

සෝදාගත් පුහුල් කැබලි ඉඩ ඇති මැටි ඇතිලියකට දමා අවශ්‍ය ප්‍රමාණයට බදින ලද මිරිස් කුඩු, ලුණු කුඩු, බදින ලද තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු එකතු කරන්න. ගම්මිරිස් කුඩු ටිකක් වැඩිපුර එකතු කරන්න. ගොරකා බික් 2- 3 ක් පමණ දාන්න. බැදගත් කරපිංචා ඉති දෙකක්, රම්පේ කොළයක්, කුරුඳු පොතු කිහිපයක් එකතු කරන්න. එනසාල් සහ කරාබුනැටි එකතු කරන්න. අවසානයේ කළු කුඩු එකතු කරන්න.

පොලොස් ඇඹුලට තරම් කිරි එකතු කිරීම අවශ්‍ය නොවන්නේ පුහුල් කැබලිවල අධික ලෙස වතුර ඇති බැවිනි. මෙය විශේෂ අවස්ථාවකට වුවද පාවිච්චි කළ හැකිය. වැඩි දිනක් තබාගැනීමට නොවේ නම් ලූනු, අමුමිරිස්, සුදුලූනු ආදිය එකතු කරන්න.