සිංහල අවුරුදු කෑම මේසය හැඩ කරන... රස කැවිලි

මාර්තු 31, 2021

 

සිංහල අලුත් අවුරුද්ද ළඟ ළඟම එන බව කියමින් කොවුලාගේ ඉමිහිරි කොහෝ නාදය දැන් තියාම සවනතට මුසුවන්නට පටන් අරන්. පසුගිය වසරේ කෝවිඩ් බිය නිසා සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර කරන්නට ලැබුණේ නිවෙසටම, පවුලේ සාමාජිකයන්ට ම පමණක් සීමා වෙමිනුයි. මෙවර පසුගිය වසරට වඩා තරමක නිදහසේ, සෞඛ්‍ය නීතිරීතිවලට අනුගත වෙමින් අලුත් අවුරුද්ද සමරන්නට කොයි කවුරුත් සැදී පැහැදී සිටිනවා.

අලුත් අවුරුදු නැකැත් අතුරින් ආහාර පිසීමට හිමිවන්නේ මුල්තැනක්. මෙවර එළකිරි මිශ්‍ර කිරිබතක් සමඟින් මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙල කිරීමටයි පෙළගස්වා ඇත්තේ.

පොල් කටු හැන්දෙන් අනලා අලුත් මැටි මුට්ටියක කිරිබතක් හදා ගෙන, තෙල් වළඳක් ළිප තියලා ලෙහෙසියෙන් පහසුවෙන් කැවිලි වර්ග කිහිපයක් ම හදා ගත්තේ නැත්නම් හිතට මොකක්ද වගේ. තමන්ගෙම අතින් කැවිලි වර්ග කිහිපයක් ම හැදෙද්දී නිහමානී ආඩම්බරයක් හිතට එන්නේ නම් නිරායාසයෙන්මයි. කිසිම ලෝබකමක් නැතිව අසල්වැසි නිවෙස්වලට යැවෙන කෑම පිඟන්වලට මේ කැවිලි වර්ග බෙදන්නේ හිතේ කිසිම කහටක් නැතිවයි.

 

 

උපදෙස් - ජාතික

තරුණ සේවා මධ්‍යස්ථානයේ (පානදුර ශාඛාවේ කේක් පාඨමාලා උපදේශිකා) ප්‍රවීණ සූපවේදිනී

සුජාතා ජයරත්න

 

ඡායා

උපාලි ජයරත්න

සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් 2021

 

ආහාර පිසීම

අප්‍රේල් මස 14 වැනි බදාදා පූර්ව භාග 06.17 ට ළා කොළ පැහැති (පලාවන්) වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ළිප් බැඳ ගිනි මොළවා එළකිරි මිශ්‍ර කිරිබතක් ද මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගැනීම මැනවි.

 

වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම

හා ආහාර අනුභවය

අප්‍රේල් මස 14 වැනි බදාදා පූර්ව භාග 07.41 ට ළා කොළ පැහැති (පලාවන්) ඇඳුමින් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.

******************

කොණ්ඩ කැවුම්

ඕනෑම උත්සව අවස්ථාවක කෑම මේසයට කොණ්ඩ කැවුම් නො තිබුණොත් කැවිලි මේසයේ හිස්බවක් දැනේවි. විශේෂයෙන් අවුරුදු කෑම මේසයට කොණ්ඩ කැවුම් අනිවාර්යයි.

 

අවශ්‍ය දෑ

කැකුළු හාල් ග්‍රෑම් 500 ක්

පාන් පිටි ග්‍රෑම් 250 ක්

කිතුල් පැණි බෝතලයක්

කරදමුංගු හෝ මාදුරු ස්වල්පයක්

ලුණු කුඩු

පිරිසුදු පොල්තෙල්

පිළියෙල කරන අන්දම

කැවුම් හදන්න අවශ්‍ය හාල්පිටි නිවෙසේදී ම කොටා ගැනීම වැදගත්. වෙළෙඳපොළේ ඇති හාල්පිටි නියමිත ප්‍රමාණයෙන් පොඟවා ඇත්දැයි සෑහීමකට පත්වෙන්න බැහැ. සමහර පිටි පිළුණු ගතියෙන් යුතුවන අවස්ථාත් තිබෙනවා.

කැකුළු හාල් ග්‍රෑම් 500 ක් හොඳින් සෝදා පැය 2 - 3 ක් පෙඟෙන්න තබන්න. ඉන්පසු වතුර පෙරා දිය ගතිය සිඳුණු පසු බ්ලෙන්ඩරයේ හෝ වංගෙඩියක දමා කොටා පෙනේරයකින් හළා ගන්න.

පිටි මිශ්‍රණය සැකසීමේ දී හාල් පිටි සහ පාන්පිටි එකට දමා හලාගෙන වෙනම පැණි ටික උණුකරගෙන මඳ උණුසුමෙන් පිටි මිශ්‍රණයෙන් ටික ටික දමමින් හැන්දකින් මිශ්‍ර කරන්න. මෙයට ලුණු කුඩු, කරදමුංගු කුඩු හෝ මාදුරු කුඩු එකතු කරන්න.

අනාගත් පිටි මිශ්‍රණය වැඩිපුර දියාරු හෝ උකුගතියෙන් තිබෙන්නට බැහැ. පැණි ප්‍රමාණය මදි නම් උණු වතුර ටිකක් එකතු කර පිටි මිශ්‍රණය අනාගන්නට පුළුවනි. කැට ගතියට තිබෙන්නට බැහැ. දැන් මේ පිටි මිශ්‍රණය පැය 2 - 3 ක් පිපෙන්නට වසා තබන්න.

කැවුම් බදින්නට හොඳ පිරිසුදු පොල් තෙල් තෝරා ගන්න. සාමාන්‍ය ප්‍රමාණයේ තාච්චියේ ¼ ක ප්‍රමාණයට තෙල් දමා රත්වෙන්න හරින්න. බොකුටු හැන්දක් ගෙන පිටි මිශ්‍රණයෙන් කොටසක් රත්වූ තෙලට දමන්න. ඒ ප්‍රමාණය පැතැලි වූ පසු ඒ මතට හෙමින් හෙමින් පිටි හැන්දෙන් වත් කරන්න. දැන් පිටි දැමීම නවතා ස්වල්ප වේලාවකින් උඩට මතු වූ කොටස ඉරටුවකින් හෝ කූරක් ගසා අනෙක් අතින් තෙල් හැන්දෙන් තෙල් ඉසිමින් කූර තුළින් කොණ්ඩය උඩට මතු කරගෙන අනෙක් පස හරවා රවුම් කරමින් බැදෙන්න හරින්න. අපූරුවට කොණ්ඩය මතු වුණු කැවුමක් නිර්මාණය කරගන්න පුළුවන්.

දිනක් දෙකක් ගත වෙද්දී කැවුම් ගල්වගේ් හයිවෙන්නේ සීනි එකතු කර කැවුම් හැදීමෙන්. පිරිසුදු කිතුල් පැණි හෝ පොල් පැණි එකතු කිරීමෙන් එසේ නොවේවි.

සමහර කැවුම්වල මැද අමු ගතියක් ඇතිවෙන්නේ කැවුම්වල මැදට මනාව උෂ්ණත්වය නොලැබී යෑම නිසා. වැඩිපුර පිටි වැඩිපුර ගින්දර දැමීමෙන් කැවුම් කර කරගන්න එපා. කොණ්ඩය මතු කරගත්තාට පසුව කැවුම පෙරළා හොඳින් තම්බා ගැනීමෙන් මැද අමුගතිය බොහෝ දුරට අඩුකර ගන්නට පුළුවන්.

******************

 එළකිරි මිශ්‍ර කිරිබතක්

කිරෙන් පිසෙන කිරිබතක් කිව්වහම පුරුද්දට වගේ එකතු කරන්නේ පොල්කිරි. එහෙත් මෙවර නැකැත් සීට්ටුවේ ඇති කිරිබතට එකතුවෙන්නේ එළකිරි.

එළකිරි මිශ්‍ර කිරිබත් කන්න එතරම් රුචිකත්වයක් නැති අයට වෙනදා පිසෙන කිරිබතම වුණත් පිළියෙල කරගන්න පුළුවන්.

හැබැයි එළකිරිවලින් පිසෙන කිරිබතත් රසයි. කිරිපිඬුවලට, පොංගල් කිරිබතට එහෙම නම් එකතු කරන්නෙම එළකිරි.

 

මේ සඳහා අවශ්‍ය වෙන්නේ.

සුදු කැකුළු හාල් කිලෝ එකක්

ලුණු අවශ්‍ය ප්‍රමාණයට

රම්පේ කැබැල්ලක්

එළකිරි (එළකිරි අකමැති අයට

පොල්කිරි ගන්න පුළුවන්)

 

පිළියෙල කරන අන්දම

හාල් හොඳින් සෝදලා ඉඩකඩ ඇති මැටි මුට්ටියකට දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුරත් එකතු කරලා ළිපේ තියන්න. අලුත් අවුරුද්දට කිරිබත හැදෙන්නේ් අලුත් ම මැටි මුට්ටියක. දරළිපක් නම් ඒකත් අලුතින් ම වගේ සකස් වෙන්නේ. රම්පේ කෑල්ලක් එකතු කළාම හරිම සුවඳයි.

බත ඉදෙද්දී ගින්දර පාලනය කර ගැනීම වැදගත්. පොල් කටු හැන්දක් අරන් හොඳට කූරු ගාලා ලුණු එකතු කරගන්න. පොල්කිරි ටික එහෙමත් නැත්නම් එළකිරි ටික එකතු කරන්න. ලුණු ටිකක් කලින්ම බතට එකතු කරන්නත් පුළුවන්.

බත හොඳින් ඉදුණාමයි කිරි දාන්න ඕන. බත කිරෙන් ඉදෙන්නේ නැහැ. බාගෙට ඉදුණු බතට කිරි එකතු කළොත් බත් ඇට අමුවේවි. බතේ වතුර එහෙම පිටින්ම හිඳෙන්නේ නැතිව වතුර තිබුණොත් කිරි එකතු කළාම ඉක්මණින්ම නරක් වෙන්න බලාවි.

බත ඉදුණු පසු කෙසෙල් කොළයක් අතුරලා ඒ මතට කිරිබත දමා තුනීකර තරමක් නිවුණු පසු කෑලි කපා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් කිරිබත් කපන්නේ කැට විදිහට. කැට කපපු කිරිබත් මේසෙට යැව්වමත් ලස්සනයි. පිරිලා තියේවි.

*******************

අලුවා

තෙලේ බදින්නෙ නැතිව වැඩිපුර මුදල් වියදම් නොකර අවුරද්දට හදාගන්න පුළුවන් රස කැවිලි වර්ගය අලුවා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

සුදු කැකුළු හාල් පිටි කිලෝ එකක්

සීනි කිලෝ එකක්

කජු ග්‍රෑම් 100 ක්

කරදමුංගු කුඩු ටිකක්

ඉඟුරු ඉස්ම තේ හැන්දක්

ලුණු කුඩු තේ හැඳි 1 ක්

වතුර කෝප්ප 2 ක්

 

සාදාගන්නා අන්දම

සුදු කැකුළු හාල් දියේ දමා නිවෙසේදී ම හෝ මෝලකින් කොටා ගන්න. මුලින් ම හාල්පිටි ටික හරිම ප්‍රවේශමෙන් බැදගන්න. නිතරම හැඳිගාමින් අඩිය අල්ලන්නේ් නැතිව පිටි ටික බැද ගන්න.

සීනි ටික පාටක් නැතිව උණු කර ගත යුතුයි. සීනි වලට වතුර එක්කර ළිප තබා පැණි පදමට උණුකරගන්න. (නූල් ඇදෙන පදමට) මේ පැණි ටික නිවෙන්න හරින්න. ළිපේ තිබියදීම පිටි දැමීමෙන් පැණිවලට බැදගත් පිටි ඔක්කොම මිශ්‍ර වෙන්න උත්සාහ කරනවා. මේ දෙකම වැරැදියි.

පැණි ටික නියම විදිහට උණුකර ගත්තේ නැත්නම් අලුවා හදන්න බැරි වෙනවා. නිවැරැදි ක්‍රමය හොඳින් උණුකරගත් පැණි ටික තරමක් නිවෙන්නට හැර එයට මුලින්ම කජු, සුවඳ කුඩු, ලුණු, ඉඟුරු ඉස්ම එකතු කරන්න. ඊට පසුව බැදගත් පිටි ටික ටික එකතු කරමින් මිශ්‍ර කරන්න. මේ කටයුත්ත බොහොම කඩිනමින් කළ යුතුයි.

පිටි මිශ්‍ර කිරීමට පෙර ලෑල්ලක් මතට පිටි අතුරා කෙසෙල් කොළ කෑල්ලක්, පිහියක් සූදානම් කරගෙන පැණි භාජනයට පිටි එක් කළ යුතුයි. මෙය ක්ෂණිකව කළ යුතුයි. අනාගත් පිටි පැණි මිශ්‍රණය ලෑල්ලට දමා කෙසෙල් කොළ කෑල්ලෙන් ඉක්මණින් තුනී කර කෑලි සඳහා ලකුණු කරන්න. ඝණ වූ පසුව කෑලි වෙන්කර ගන්න පුළුවනි. ශක්තිමත්ව තදට අළුවා ටික හදා ගත්තොත් පදම හරියටම හරි.

****************

මුංගුලි

 

ඉක්මණින් ම හදාගන්න පුළුවන් කැවිලි වර්ගයක් මේ. මෙවර නැකැත් සීට්ටුවට මුං ඇට මිශ්‍ර කැවිලි වර්ගයක් පිළියෙල කළ යුතු නිසා ඒ අතරට මුං ගුලි එකතු කරගන්නත් පුළුවන්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

කැකුළු හාල් ග්‍රෑම් 250 ක්

මුං ඇට ග්‍රෑම් 250 ක්

සීනි ග්‍රෑම් 500 ක්

පැණි බෝතල් ½ ක්

කරදමුංගු හෝ මාදුරු කුඩු තේ හැඳි ½ ක්

ලුණු ස්වල්පයක්

තෙල්

 

බැටරය සඳහා

බැද නොගත් හාල්පිටි ග්‍රෑම් 200 ක්

පොල් කිරි අඬු කෝප්පයක්

කහ, ලුණු ස්වල්පයක්

 

සාදන අයුරු

කැකුළු හාල් පෙඟෙන්නට දමා පිටි කොටා ගන්න. නැත්නම් මෝලකින් ගන්න. මුං ඇට ද සෝදා රන්වන් පාට වනතුරු කබලේ බැදගෙන යන්තමින් කෑලි සිටින සේ කොටා ගන්න. හාල් ද කබලේ බැද කොටාගන්න.

මුංගුලි සෑදීමට අවශ්‍ය පිටි මිශ්‍රණය සාදා ගැනීම සඳහා මුලින් ම පැණි ටික උණු කරගත යුතුයි. සීනි ගන්නවා නම් මුලින් ම සීනි ටිකක් බඳුනකට දමා ළිප තබා කරකරගෙන එයට වතුර සහ ඉතිරි සීනි ටික එක්කර පැණි උණුකරගන්න. මුංගුලි සෑදීමේ දී පැණි ටික පත් පැණි තරමට උණු කිරීමට අවශ්‍ය නැහැ. සුවඳ ද්‍රව්‍ය දමා උණු වුවාට පසුව ළිපෙන් බා යන්තමින් නිවෙන්නට හරින්න. දැන් බැදගත් හාල් පිටි සහ මුං ඇට පිටි එකට මිශ්‍ර කර එය පැණි මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගෙන ඉක්මණින් ගුලි සාදාන්න. මෙම පිටි මිශ්‍රණයේ දියර ගතිය අඩුවන තෙක් තබා ගුලි සාන්නට පුළුවනි.

දැන් බැටරය හදමු. හාල්පිටිවලට කහ සහ ලුණු ස්වල්පයක් එක්කර පොල් කිරෙන් අනාගන්න. ඉහත සාදාගත් මුංගුලි බැටරයේ ගිල්වා ගැඹුරු තෙලේ රන්වන් පාටට බැදගන්න.

 

****************

 ආස්මි

අවශ්‍ය ද්‍රව්‍ය

තද ගතියෙන් යුතු සුදු කැකුළු හාල්

ග්‍රෑම් 500 ක්

පොල් ගෙඩියක මිටි කිරි

ලුණු තේ හැන්දක්

දවුල් කුරුඳුවලින් සාදාගත් නානු

අඬු කෝප්ප ½ ක්

පැණි මිශ්‍රණය සඳහා සීනි ග්‍රෑම් 100 ක්

පිරිසුදු පොල්තෙල්

 

පිළියෙල කරන අන්දම

සුදු කැකුළු හාල් ගරා සෝදා විනාඩි 5 - 10 ක් පෙඟෙන්නට අරින්න. වැඩි වේලාවක් පෙඟෙන්න දෙන්න එපා. දැන් හාල්වල වතුර පෙරා රෙදි කැබැල්ලක් හෝ කඩදාසියක් මත අතුරා ටික වේලාවක් තබන්න වතුර හිඳුණු පසු හාල් ටික වංගෙඩියේ හෝ බ්ලෙන්ඩරයේ කොටා ගන්නට පුළුවනි.

වෙනත් රසකැවිලි හදනවා වගේ නෙවෙයි ආස්මි හදන අවස්ථාවේ පිටි හලා ගැනීමත් වෙනස් ක්‍රමයකටයි කරන්න ඕනෑ. මුලින්ම කොටා ගත් සහල් ටික සාමාන්‍ය පෙනේරයකින් හලාගන්න ඕනැ. ඊට පසුව ඒ හලාගත් පිටි ඕගන්දි වැනි රෙදි කැබැල්ලකින් සකසාගත් පෙනේරයකින් හලා ගන්න ඕනෑ. මේ ක්‍රමයට හලාගත් පසු ඉතාම සියුම් ලෙස පිටි ටික හලා ගන්නට පුළුවනි.

සියුම්ව හලාගත් පිටිවලට පොල් කිරි හා ලුණු එක්කර රොටී පදමට අනාගන්න. මේ පිටි මිශ්‍රණයට නානු එක්කරන්න. ඇඟිලිවලින් පිටි මිශ්‍රණය තවරා උඩට ඉස්සූ විට නූලක් මෙන් කැඩෙන්නේ නැතිව වැටනවා නම් පිටි මිශ්‍රණයේ පදම හරි.

ආස්මිවලට නානු මිශ්‍රණය සාදා ගන්නේ කොහොමද?

මුලින් ම දවුල් කුරුඳු මෝරපු කොළ ටිකක් කඩාගෙන අතින් හොඳට පොඩිකරගන්න. මෙයට මිටිකිරි ටිකක් එකතු කර නැවත අතින් පොඩිකරගන්න. දැන් මේ නානු ටික ඕගන්දි වැනි රෙදි කෑල්ලකින් පෙරාගෙන පිටි මිශ්‍රණයට එකතු කරන්න පුළුවන්.

දවුල් කුරුඳු කොළ ටික බ්ලෙන්ඩර් කරන්න බැරි ඇයි? කොළ සිහින්ව කුඩු වූ විට ආස්මිවල වර්ණය සුදු බව අඩු වෙන්නට පුළුවන්. ඒ නිසා අතින් කඩා ඉස්ම ටික ගැනීමයි වඩාත් සුදුසු වන්නේ. දවුල් කුරුඳු හොයා ගන්න අපහසු නම් ළපටි බණ්ඩක්කා කරල් ටිකක් පොඩිකර නානු සාදාගන්නත් පුළුවන්.

ආස්මි ටික බැදගන්නේ කොහොමද?

සාමාන්‍ය ප්‍රමාණයේ තාච්චියක් අරගෙන එයට හොඳ ප්‍රමිතියෙන් යුතු පොල්තෙල් තාච්චියෙන් ¾ ක ප්‍රමාණයට දමන්න. තාච්චිය දරළිපේ හදනවා නම් තෙල් ටික එකම ප්‍රමාණයට රත්වෙන්න ගින්දර පාලනය කරගන්න ඕනෑ. ගෑස් ළිපක නම් අපට එකම ප්‍රමාණයට උෂ්ණත්වය ලබා දෙන්න පුළුවන්. ආස්මි හදන්නම හදපු පොල් කටු හැඳි තිබෙනවා. මේවා ලොකු පොල්කටුවක මැදින් තරමක ප්‍රමාණයේ සිදුරු 20 - 25 ප්‍රමාණයක් විදලා හදලා තියෙන්නේ. මේ පොල් කටු හැන්දට පිටි මිශ්‍රණය දමා රත්වූ තෙලට පිටි මිශ්‍රණය වැටෙන අයුරින් ඉක්මනින් හැන්ද රවුමට ගෙනයන්න. ආස්මියට ප්‍රමාණවත් තරමට පිටි වත්කර එහි මැදට තෙල් හැන්ද තබා තදකර ලී කුරකින් දෙකට නමන්න. ආස්මියේ එක් පැත්තක් බැදුනාට පසුව අනෙක් පැත්ත හරවා බැදගෙන වට්ටියකට දමන්න.

මේ අයුරින් සාදාගත් ආස්මී තෙල් බේරුණු පසු මුට්ටියක තබා දින කිහිපයක් ගිය පසු නැවත රත්වූ තෙල්වලින් බැද රටාවකට පැණි වත්කර කෑමට ගන්න පුළුවනි.

පැණි මිශ්‍රණය සාදා ගන්නේ කොහොමද?

සීනි ග්‍රෑම් 100 ක් පමණ ගෙන එයට වතුර ටිකක් දමා ළිප තබා උකුවනතුරු උණු කරගන්න. මේ පැණි මිශ්‍රණයට ඔබට කැමැති පාටකින් ආහාර වර්ණක බිංදු කිහිපයක් එකතු කරගන්නට පුළුවනි.

සීනි ටිකක් බඳුනකට දමා කර කරගෙන පැණි පාට වූ පසු වතුර දමා ඉතිරි සීනි එක්කර පැණිපාටට සීනි උණුකර රටාවකට වත්කර ගන්නට පුළුවනි.

ආස්මි දෙවැනි වර බදින්නට පෙර මාස 2 - 3 ක් මැටි බඳුනක දමා කඩවැස්මක් බැඳ තබාගන්නට පුළුවනි. දෙවැනි වර බදින දිනයට පෙර දිනයේ තෙත රෙදි කඩකින් ඔතා පොඟවා දෙවැනි වර බදින්න පුළුවනි. ඉන්පසු පොලිතින් ඇසුරුමක ආරක්ෂිත ලෙස අසුරා තැබිය යුතුයි.

 

************

වැලිතලප/ගොඩපොර

ගමේ ගෙවල්වල හරිම රසට හැදෙන කෑමක්නේ වැලිතලප. වැලිතලප, ගොඩපොර එකිනෙකට සමගාමීව එකම ක්‍රමයට හදන නිසා එකටම පුරුදු වෙමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

හාල්පිටි කිලෝ එකක්

සීනි කිලෝ එකක්

පොල් බෑයක පොල්

ලුණු තේ හැඳි 1 ක්

පොල්තෙල්

 

බැටරය සඳහා

හාල් පිටි ග්‍රෑම් 100 ක්

පාන්පිටි ග්‍රෑම් 100 ක්

පොල් කිරි ටිකක්

කහ කුඩු ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

 

සාදන අයුරු

ලොකු බේසමක් හෝ ඇතිළියක් ගෙන හාල් පිටි ටික එයට දමා සිහින්ව ගාගත් පොල් ටිකක් එයට දමන්න. මෙය මිශ්‍රකර වෙනම භාජනයකට වතුර ටිකක් දමා පසෙකින් තබන්න. එක්වරම වතුර දමන්නේ නැතිව අත වතුර භාජනයට දමා එහිදී තැවරුණු වතුර සහිත අත පිටි බඳුනට දමා සෙමින් පිටි ටික කැට කරගන්න. වරින් වර අත තෙමමින් කලබල නැතිව මෙම පිටි ටික කැට කරගන්න. මෙය පිට්ටු බම්බුවකට හෝ කඩ වැස්මක් බැඳි භාජනයකට දමා තම්බා ගන්න. තම්බාගත් පිට්ටු නිවෙන්නට හැර ලිහා ගන්න.

සීනිවලින් ටිකක් බඳුනකට දමා ළිප තබා කරවෙන්නට හරින්න. තද දුඹුරු පාටට කර වූ පිටි උණුවතුර ටිකක් එක්කර ඉතිරි සීීනි ටිකත් දමා පත්පැණි පදමට උණු කරගන්න. උණු කරගත් පැණිවලට ළිප මත තිබියදීම ඉහත සාදාගත් පිට්ටු ටික ටික එකතු කරන්න. යාන්තමින් ඝණවන විට ළිපෙන් බාගන්න. මෙයට සුවඳ කුඩු ද එකතු කරන්න. අවශ්‍ය නම් කරදමුංගු කුඩු ටිකකුත් එකතු කරන්න. ටිකක් නිවුණු පසු අතින් බෝල කරගන්න. අතේ වතුර ටිකක් තවරා ගෙන මෙය බෝල කරගන්න.

දැන් බැටරයක් හදා ගන්න ඕනෑ. හාල් පිටි සහ පාන්පිටි භාජනයකට දමා එයට කහ කුඩු ස්වල්පයක්, ලුණු කුඩු ස්වල්පයක් එක්කර පොල් කිරෙන් තරමක් උකුවට අනාගන්න. දැන් මේ බැටරයේ ඉහත සාදා ගත් ගොඩපොර බෝල ගල්වා ගැඹුරු තෙලේ බැදගන්න. මේ සඳහා සීනි වෙනුවට පැණි පාවිච්චි කරන්නත් පුළුවන්. හොඳ තත්ත්වයේ පොල් පැණි හෝ කිතුල් පැණි බෝතල් ½ කට සීනි ග්‍රෑම් 500 ක් එකතුකර පැණි උණු කරගත හැකියි.

මෙහිදි බෝල කර ගැඹුරු තෙලේ බැදගන්නෙන් නැතිව බන්දේසියක හෝ ලෑල්ලක තුනීකර කපාගත් පසුව වැලිතලප ලෙස අවුරුදු කෑම මේසයට යවන්නත් පුළුවන්.