අළුකෙසෙල් කපන හරි ක්‍රමය දන්නවාද?

ජූලි 21, 2021

 

''කොහොම ඉව්වත් යන්නේ බඩට නේ.. බඩගින්නට කන්න තිබුණොත් මදැයි.''. ඇතැම් අය මෙලෙස පවසන ආකාරය ඔබත් අසා ඇති. අප ඉවුම් පිහුම් කරන්නේ කුසගිනි නිවාගන්නට බව සැබෑවකි. එහෙත් කුසගිනි තිබූ පමණින් ම ආහාරයක් යමකුට ප්‍රිය නොවිය හැකිය.

ආහාර සැකසීමේ කලාව ප්‍රගුණ කළ යුතු වන්නේ ඉන් ආහාරයේ රසය, පෙනුම, ගුණය තවත් තීව්‍ර කරන නිසයි. කුමක් හෝ කෙසේ හෝ ආහාරයට ගන්නවාට වඩා හොඳින් සකස් කරන ලද ආහාර වේලක් සඳහා සෑම අයකු තුළම ඇත්තේ වැඩි කැමැත්තකි.

අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ අළු කෙසෙල් විවිධ ආකාරයට ඉවීමේ දී ඒවා කපන ක්‍රම මොනවාද යන්නයි.

අළුකෙසෙල් සිරුර සිසිල්කරන ගුණයෙන් යුතු කෙසෙල් පවුලට අයත් පලතුරකි. එහෙත් බොහෝ විට අළුකෙසෙල් ඉදවා පලතුරක් මෙන් ආහාරයට ගන්නවාට වඩා එය එළවළුවක් මෙන් සැකසීම සිදු කරන්නේ එහි ඇති රසවත් බව නිසාමයි. සාමාන්‍ය කෙසෙල් වර්ග අමුවෙන් ඉවීමේ දී කහට රසක් ගෙන ආවද අළුකෙසෙල්වල ඇත්තේ මිහිරි රසයකි.

අළුකෙසෙල් ආහාරයක් ලෙස සකස් කරන ක්‍රම කිහිපයක් ම පවතී. කිරට, තෙලෙන් මලවා කිරට ඉවීම, අළුකෙසෙල් බැදීම මේ ක්‍රම අතර ඉදිරියෙන් ම තිබෙන ක්‍රමයි. ඊට අමතරව කට්ලට්, පැටිස් වැනි ආහාර වර්ග සැකසීමේ දී අල වෙනුවට ආදේශකයක් ලෙස අළුකෙසෙල් යොදා ගන්නේ ද එහි ඇති රසය නිසාමයි.

අළුකෙසෙල් ගෙඩි පමණක් නොවේ. ඉවීමට පෙර ගෙඩියෙන් ඉවත්කරන ලෙලිද විවිධ ක්‍රමවලට අපේ ඇත්තෝ ආහාරයට එක්කර ගනිති. බොහෝ විට ඉන් ප්‍රචලිතම ක්‍රමය වන්නේ අළුකෙසෙල් ලෙලි තෙල් දැමීමයි. තෙල් දැමීම සඳහා අළුකෙසෙල් ලෙලි කුඩාවට ලියා ගත යුතුයි. එවිට එය තෙලෙන් හොඳින් තැම්බේ.

කිරට සකසන ව්‍යාංජනය ඉතාමත් රසවත් ය. ඒ සඳහා අළුකෙසෙල් කැපීම සිදු කරන්නේ ගෙඩියේ එක් පැත්තක සිට ආනත (ඇදයට මෙන්) හැඩයට පෙති සේ කැපීමයි. මේවා ඉක්මනින් තම්බා ගැනීම සඳහා ඝනත්වය තරමක් අඩුවෙන් කපා ගැනීම සුදුසුයි.

පැටිස් පිරවුම සඳහා අළුකෙසෙල් යොදා ගැනීමේ දී අළුකෙසෙල් මිලි මීටර 4ක පමණ ගණකම ඇති කුඩා කැබැලි ආකාරයට කපා ගන්න. කට්ලට් ආදිය සෑදීමේ දී වුවද මෙවැනි කුඩා කැබැලි ලෙස අළුකෙසෙල් කපා ගැනීමෙන් ඒවා මිශ්‍රණයට එකතු කිරීම පහසු වේ.

අළුකෙසෙල් බැද ඉවීම බොහෝ දෙනෙක් නොකළ ද එහි රසය නම් ඉතාමත් සුවිශේෂී වේ. මේ සඳහා පළමුව අළුකෙසෙල් කැබැලි අඟල් භාගයක හෝ අඟල් තුන්කාලක පමණ ප්‍රමාණයට කපා ගත යුතුයි. දිගු අතට හතරට පලා ගත් අළුකෙසෙල් ගෙඩියේ තීරු මේ ප්‍රමාණයට කපා ගන්න. එසේ කපා ගන්නේ බැදීමේ දී මේවායෙහි ප්‍රමාණය තරමක් කුඩා වන නිසයි. ගැඹුරු තෙලේ බැදගත් අළුකෙසෙල් කිරට ඉවීමෙන් දැනෙන රසය වෙනත් කිසිම ව්‍යාංජනයක රසයට සම කළ නොහැකියි.

ඉවීමට එළවළු විවිධ ක්‍රමවලට කපන්නේ මන්දැයි දැන් ඔබට හොඳින් ම වැටහෙනවා ඇති. ඉන් ආහාරයේ රස, ගුණ වැඩි වන බැවින් මේ ක්‍රම තම ඉවුම් පිහුම්වල දී අනුගමනය කිරීම ඔබට පහසුවත් සකසන ආහාරය වඩාත් හොඳින් සකසා ගැනීමට අවස්ථාවත් උදාකර දීමට සමත් වේ.