සැමරුම වර්ණවත් කරන රස ගුණ පිරි කේක්

ඔක්තෝබර් 6, 2021

 

මෙවර රසාර අතිරේකය තුළින් අප ඔබ වෙත ඉදිරිපත් කරන්නට සූදානම් වෙන්නේ ඔබේ අවශ්‍යතාවට ගැළපෙන කේක් නිර්මාණ කීපයකි.

මේ දිනවල රටේ පවතින වසංගත තත්ත්වයත් සමඟ ඔබේ ආදරණීයයන්ගේ උපන්දිනයට, එහෙමත් නැතිනම් ඔබේ දුවගේ පුතාගේ විවාහ ගිවිසගැනීමට වගේම ඔබේ ඒ ආදරණීය දවස එහෙමත් නැතිනම් විවාහ සංවත්සරය සමරන දිනය වෙනුවෙන් කේක් නිර්මාණයක් කරගන්නට නොහැකිව ඔබ ළතැවුණා නම් මේ එය සැබෑවක් කරගන්නට අවස්ථාවකි.

මෙම අතිරේකය තුළින් අපි ඔබට කේක් එකක් සාදාගන්නා ආකාරයත් එය හැඩකර ගැනීමට අවශ්‍ය බටර් අයිසිං සහ ෆොන්ඩන්ට් අයිසිං සාදාගන්නා ආකාරයත් ගෙන එන්නෙමු.

එසේම එවැනි අවස්ථා වෙනුවෙන් සෑදිය හැකි කේක් නිර්මාණ කීපයක් ද මෙම අතිරේකය තුළින් ඉදිරිපත් කරඇත.

එනිසා මෙවර රසාර අතිරේකය ඔබට සුවිශේෂී තිළිණයකි.

උපදෙස් - Cake by Ruth හි කේක් නිර්මාණ ශිල්පිනියන් වන

ශෙනාලි දිද්දෙනිය සහ

මංජුලා මුණසිංහ

 

 

බටර් කේක් මෙහෙම හදමු

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් ග්‍රෑම් 250ක්

සීනි ග්‍රෑම් 250ක්

පිටි 250ක්

බිත්තර 4ක්

බේකිං පවුඩර් තේ හැඳි 01ක්

වැනිලා එසන්ස් තේ හැඳි 1 1/2ක්

 

සාදන ක්‍රමය

 

මුලින්ම පිටිවලට බේකිං පවුඩර් එකතුකර තෙවරක් හලාගන්න. ඉන්පසුව වතුර නැති හොඳින් වේළුණු භාජනයකට බටර් සහ සීනි යොදා හොඳින් සීනි කැට දියවන තුරු බීට් කරන්න. වැනිලා තේ හැඳි1 1/2ක් භාජනයකට එක්කරගෙන තත්පර 3 - 4 කාලයක් බීට් කරන්න. පසුව හලාගත් පිටි ස්වල්පය බැගින් භාජනයට එකතු කරගනිමින් හොඳින් බීට් කරගන්න. මෙහිදී එකම පැත්තකට පමණක් මිශ්‍රණය බීට් කරගැනීමට මතක තබාගන්න. මේ අතර ඔබ කේක් එක බේක් කරගැනීම සඳහා යොදා ගන්නා තැටිය මත බටර් හෝ තෙල් ස්වල්පයක් ආලේප කර ඉන්පසු මුළු තැටිය පුරා සමාන්තරව ඉහිරෙන ආකාරයට පිටි ස්වල්පයක් තැටිය මත අතුරා ඒ මත තෙල් කොළ අතුරා තැටිය සූදානම් කර ගන්න. එමෙන්ම ඔබගේ අවන් එක සෙල්සියස් අංශක 180ට සකස පෙර රත්කර ගන්න. (pre heated) ඉන්පසු සාදාගත් බැටර් එක තැටිය මත හොඳින් අතුරාගන්න. පසුව මිශ්‍රණය සහිත තැටිය සෙන්ටිග්‍රේඩ් අංශක 180ට සකසා කලින් රත්කරගත් අවන් එකට දමා විනාඩි 35 - 40ක කාලයක් බේක් වෙන්න තබන්න

 

 

බටර් අයිසිං සාදන ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

බටර්, අයිසිං සීනි සහ වැනිලා

 

සාදාගන්නා ආකාරය

 

ප්‍රථමයෙන් අයිසිං සීනි කැට ඉතිරි නොවන සේ හොඳින් හලා ගන්න. ඉන්පසු බටර් භාජනයකට දමා හොඳින් දියවන සේ විනාඩි 5ක් පමණ බීට් කරන්න. එයට අයිසිං සීනි ටිකින් ටික භාජනයට එකතු කර බටර් සමඟ හොඳින් බීට් කරගන්න. ඉන්පසු ඔබ කැමැති නම් වැනිලා ස්වල්පයක් හෝ වෙනත් රසැති එසන්ස් ස්වල්පයක් එකතු කර විනාඩි තුනක් පමණ හොඳින් බීට් කරගන්න. කිරි ස්වල්පයක් ද එකතු කර ගැනීමෙන් අයිසිං එකෙහි රසය වැඩිකර ගත හැකියි.

 

කේක් හැඩකරන ෆොන්ඩන්ට් අයිසිං

අයිසිං සීනි ඔබට අවශ්‍ය ප්‍රමාණය රැගෙන කැට ඉතිරි නොවන සේ හොඳින් හලාගන්න. ඉන්පසු ජෙලටින් මේස හැඳි එකක් භාජනයකට දමා වතුර මේස හැඳි 1 1/2ක් එයට එක් කරන්න. ඉන්පසුව ගෑරුප්පුවක් ආධාරයෙන් ජෙලටින් ස්වල්පය වතුරේ හොඳින් දිය කරන්න. ජෙලටින් දිය කරගත් පසු විනාඩියක් පමණ කාලයක් යන විට එය ඝනවීමට (Bloom) පටන් ගනී. ඉන්පසුව භාජනයකට උණුවතුර දමා එයට ජෙලටින් සහිත භාජනය දමා ඩබල් බොයිල් කරගන්න. ඉන්පසු දියකරගත් ජෙලටින් ෆොන්ඩන්ට් අයිසිං සාදා ගැනීමට යොදාගන්නා භාජනයට පෙරා ගනිමින් එක් කළ යුතුය. රස්නය තිබියදීම මෙයට ග්ලූකෝස් සහ ග්ලිසරින් මේස හැඳි 1 බැගින් එක්කර ගත යුතුය. ඉන්පසු හොඳින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය හොඳින් දියවුණු පසු කලින් හලාගත් අයිසිං සීනි භාජනයට එක් කරගන්න. ඉන්පසුව හොඳින් මිශ්‍ර කර්ස්ගන්න. හොඳින් මිශ්‍ර කරගන්නා විට එක් මොහොතක දී අයිසිං මිශ්‍රණය අතේ නොඇලෙන පදමට පැමිණෙයි. ඒ වාගේම වඩාත් මෘදු ස්වභාවයක් ගනී. එම පදමට පැමිණි පසු එම ෆොන්ඩන්ට් අයිසිං මිශ්‍රණය ඔබගේ කේක් නිර්මාණයන් සඳහා භාවිත කළ හැකි වේ.

සැ. යු. - එක් එක් දේශගුණික සාධක මත මිශ්‍රණය සඳහා ඔබට භාවිත කිරීමට සිදුවන අයිසිං සීනි ප්‍රමාණය එකිනෙකට වෙනස් වේ.

 

පුංචි දෝණිට  හරි ලස්සන දේදුන්නක්

 

මෙම කේක් නිර්මාණය සඳහා කිලෝ එකක බටර් කේක් එකක් යොදාගෙන ඇති අතර ෆොන්ඩන්ට් අයිසිංන්වලින් ආවරණය කරගෙන ඇත.

මෙහිදී තණකොළ පිට්ටනියක ස්වරූපය මතුකර ගත යුතු බැවින් ෆොන්ඩන්ට් අයිසිං තද සහ ළා වශයෙන් කොළ පැහැයන් දෙකක් මඟින් වර්ණ ගන්වා එම වර්ණ දෙක මිශ්‍ර කරමින් තුනී කරගෙන ඇත. මුලදී බටර් අයිසිං මඟින් ආවරණය කරගත් කේක් එක පසුව කොළ පැහැ ගැන්වූ ෆොන්ඩන්ට් මඟින් ආවරණය කරගත යුතු වේ.

ඉන්පසු අවශ්‍ය අනෙකුත් ෆොන්ඩන්ට් සැරසිලි නිර්මාණය කරගත යුතු අතර දේදුන්න, හතු, කොළ පඳුරු සහ ලේඩි බර්ඩ් තමන් කැමැති වර්ණ යොදාගනිමින් නිර්මාණශීලිව නිම කරගත හැකියි. පසුව ඡායාරූපයේ දැක්වෙන පරිදි එම ෆොන්ඩන්ට් සැරසිලි කේක් එක මත අවශ්‍ය ස්ථානවල රඳවා ගැනීම කළ යුතුය. විශේෂයෙන්ම දේදුන්න රඳවා ගැනීමේ දී බාබර්ක්‍යු ස්ටීක්ස් යොදා ගනිමින් රඳවා ගැනීම සිදු කළ හැකියි. ඉන්පසු නොම්බර 33 ස්ටාර් නොසල් එක මඟින් කේක් එක වටා පඳුරු යොදාගෙන කේක් එකේ නිමාව වැඩිකරගෙන ඇත. එමෙන්ම ඩේසි මල් කටර් එක යොදාගෙන මල් කපා ගැනීම සිදුකර තිබේ.

 

සුරංගනාවත්  දෝණි වගේමයි

මෙම නිර්මාණය සඳහා බටර් හෝ චොකලට් කේක් කිලෝ 1යි ග්‍රෑම් 750ක කේක් ප්‍රමාණයක් අවශ්‍ය වේ.

 

කිලෝ 1, ග්‍රෑම් 500, ග්‍රෑම් 250 බැගින් තැටිවල කේක් 3ක් පුලුස්සා ගත යුතුය.

නිර්මාණයට ගැළපෙන ලෙස කේක් බෝඩ් එක තෝරා ගන්න. බෝඩ් එක මත බටර් අයිසිං තවරා කිලෝ ග්‍රෑම් එකේ කේක් එක බෝඩ් එක මත තබා ගන්න. කේක් එක මත බටර් අයිසිං තවරා දෙවැනි ලේයර් එක (ග්‍රෑම් 500) ඒ මත තබන්න. නැවත ඒ මත බටර් අයිසිං තවරා 3වැනි කේක් ලේයර් එක (ග්‍රෑම් 250) ඒ මත තබා අලවා ගන්න. දැන් පිහියක් ගෙන ගවුමේ හැඩයට එන ලෙස කේක් එක කපා හැඩකර ගන්න.

ඉන්පසු මෘදු බටර් අයිසිංවලින් කේක් එක වසා ගන්න . ඉන්පසු වෙළෙඳපොළෙන් බෝනික්කෙක් ගෙන ස්ටාර් නොසල් එකෙන් එහි උඩ කොටස ගවුමක් ආකාරයට අයිසිංවලින් සරසා ගන්න. එලෙසින් උඩ කොටස අයිසිං කිරීමට පෙර ග්ලිටර් බෝඩ් එකෙන් තටු දෙකක් කපා රූපයේ පෙනෙන ආකාරයට බෝනික්කාගේ පිටුපසින් තටු දෙකක ආකාරයට අලවා ගන්න. ඉන්පසු අයිසිංවලින් උඩ කොටස අලංකාර කර එම බෝනික්කා කේක් එක උඩින් ගසා ගන්න.

දැන් බටර් අයිසිංවලට තද නිල් පාට දමා වර්ණ ගන්වා කේක් එකේ සායේ යට කොටස 2D නොසෙල් එකෙන් රෝස මල් ආකාරයට අයිසිං කරගන්න. රෝස පාට දැමූ බටර් අයිසිංවලින් එම නොසල් එකෙන්ම ගවුමේ උඩ කොටසට රෝස මල් දමා සම්පූර්ණයෙන්ම කේක් එක ආවරණය කරගන්න. ඉන්පසු මල් උඩින් සිල්ව‍ර් කලර් පබළු කීපයක් රඳවා රෝස මල් තබා අලංකාර කරගන්න.

කේක් බෝඩ් එක මත උපන්දිනය සමරන දියණියගේ නම ගසා කේක් එක අලංකාර කර ගන්න.

 

බැකෝවලට ආදරය කරන පොඩ්ඩන්ට…

 

 

මේ සඳහා කිලෝ 1ක බටර් හෝ චොකලට් කේක් එකක් සාදාගත හැකියි.

මුලින්ම නිර්මාණයට ගැළපෙන ලෙස කේක් බෝඩ් එකක් ගත යුතුය. බෝඩ් එක මැද බටර් අයිසිං තවරා ඒ මත සාදාගත් කේක් එක තබන්න. කේක් එක මත බටර් අයිසිං තවරා ෆොන්ඩන්ට් අයිසිංවලින් සම්පූර්ණ කේක් එක ආවරණය කරගන්න.

ඉන්පසු කේක් එක හරිමැද කළු පාට ෆොන්ඩන්ට්වලින් පාරක් කපා අලවා ගන්න. පාර මත සුදු පාට ෆොන්ඩන්ට්වලින් කඩඉරි කපා අලවා ගන්න.

කහ පාටින් වර්ණ කරගත් ෆොන්ඩන්ට් තුනීකර රූපයේ පෙනෙන පිරිදි පිහි තුඩකින් ඩෝසරය කපා ගන්න. (free hand cutting) රෝද කහ පාටින් සහ බකට් එක කළු ෆොන්ඩන්ට්වලින් කපා ගන්න. කහ පාටින් ඇලෝවීල් සහ රෝද මත අලවා ගන්න. සම්පූර්ණ කරගත් බැකෝ එක කළු පාටින් සකස්කර ගත් පාරමත තබා අලවා ගන්න. කේක් එකේ පහළ කොටස කොළ පාට බටර් අයිසිංවලින් තණකොළ ආකාරයට ග්‍රාස් නොසල් එකින් කේක් එක මත අලංකාර කරගන්න. රතු, කහ, සුදු, රෝස ෆොන්ඩන්ට් අයිසිංවලින් ෆොගෙට් මී නොට් කටර් එකෙන් මල් කපා තණකොළ මත තබා අලංකාර කර ගන්න. කේක් එකේ යටට තමන් කැමැති නොසල් එකකින් බටර් අයිසිංවලින් බෝඩරයක් දමා අලංකාර කර ගන්න. කේක් එකේ ඉදිරි පසට නම කපා අලවා Happy B'day අකුරු කපා කේක් බෝඩ් එක මත අලවා කේක් එක අලංකාර ලෙස නිමා කරගන්න

 

පුංචි පුතු රජෙක් කරන්නට ඔටුනු කේක්

 පුතෙක් අම්මාට රජෙක් වගේ. ඒ නිසා පුතුගේ උපන්දිනයට ඔටුන්නක් කේක් එකක් ලෙස හදන්නයි මේ සූදානම.

 

මේ සඳහා රවුම් හැඩයට සාදාගත් කිලෝ 1 1/2ක බටර් හෝ චොකලට් කේක් අවශ්‍යයි. උස ගැනීම සඳහා කිලෝ 1 හා ග්‍රෑම් 500 තැටියක සාදාගත් කේක් 2ක් අවශ්‍යයි.

මෙහිදී නිර්මාණයට ගැළපෙන පරිදි සුදු හෝ ළා නිල් කේක් බෝඩ් එකක් භාවිත කළ හැකියි. සාදාගත් කිලෝ 1ක කේක් එක මැදින් දෙකට පලාගත යුතුය. කේක් බෝඩ් එක මත පළමුව කියා දුන් පරිදි බටර් අයිසිං තවරා ඒ මත කේක් ලේයර් එකක් තබන්න. දැන් ඒ මත නැවත බටර් අයිසිං තවරා අනිත් ලේයර් එක තබා නැවතත් බටර් අයිසිං තවරා ග්‍රෑම් 500 බටර් කේක් එක ඒ මත තබා ගන්න.

කේක් එක හොඳින් බටර් අයිසිං තවරා ෆොන්ඩන්ට් අයිසිංවලින් ද එකෙන් එක ආවරණය කරන්න. (ළා නිල් පාට) නැවත ෆොන්ඩන්ට් අයිසිං ගෙන එය තද නිල් පාටින් වර්ණ ගන්වාගත් අයිසිං එක තුනීකර එමඟින් ඔටුන්නක් කපා එය රවුමකර ඔටුන්නක් ආකාරයට හැඩ ගන්වා ගන්න. දැන් එය සාදා වේළෙන්න තබන්න.

ඉන්පසු ෆොන්ඩන්ට් ආවරණය කළ කේක් එක ගෙන ඒ මත තද නිල් පාටින් කටර් හෝ පිහිතුඩක් මඟින් කපාගත් රවුම් අලවා ගන්න. (සුදු හා තද නිල් පාටින්)

දැන් කලින් සකස්කරගත් ඔටුන්න කේක් එක මැදින් තබා අලවා ගන්න. ඔටුන්නෙහි ඉදිරි පසින් දරුවාගේ වයස කටර් එකක් මඟින් කපා අලවා ගන්න. ඉංග්‍රීසි අක්ෂර කටර් මඟින් PRINCE යන වචනය සුදු පාටින් කපා අලවා ගන්න.

ළා කහ පාට වර්ණ කරගත් ෆොන්ඩඩ් අයිසිං තුනිකර පටියක් කපා එමඟින් කේක් එකෙහි දෙපැත්ත අලංකාර කර ඒ පටිය මත සුදු පාට ෆොන්ඩඩ් අයිසිංවලින් Happy B'day වචනය කපා අලවා ඒ පටිය කේක් එක ඉදිරියෙන් ඡායාරූපයේ පෙනෙන පරිදි අලවා ගන්න

විවාහ සංවත්සරයට මලින් හැඩවුණු කේක්

මෙම විවාහ සංවත්සර කේක් නිර්මාණය සඳහා කිලෝ 1.5 ප්‍රමාණැති බටර් කේක් එකක් යොදාගෙන ඇත.

මෙහිදී විශේෂත්වය වන්නේ කේක් එක සෑදීම සඳහා යොදාගෙන ඇත්තේ කිලෝ 1.5 ප්‍රමාණයේ හදවතක හැඩය ඇති කේක් තැටියකි. මෙහිදී කේක් එක නිර්මාණය කිරීම සඳහා බටර් කේක්, චොකලට් කේක් හෝ වෙනත් ඕනෑම කේක් වර්ගයක් යොදාගත හැකියි. මෙහිදී මුලින්ම කේක් එක සාදාගෙන නිවෙන්නට හරින්න. පසුව කේක් එක ආවරණය කිරීම සඳහා සහ වෙනත් සැරසිලි නිර්මාණය කිරීමට අවශ්‍ය ෆොන්ඩන්ට් අයිසිං සාදා ගන්න. දැන් කේක එක ගෙන ඒ මත බටර් අයිසිං පයිපිං බෑග් එකක් මඟින් දමාගන්න.

ස්පැතුලා එකක් මඟන් කේක් එක මත අයිසිං හොඳින් තවරාගන්න. පසුව කේක් එක විනාඩි 30ක් පමණ ශීතකරණයේ තිබෙන්නට හරින්න.

ඒ අතරතුර ඔබ විසින් සාදාගත් ෆොන්ඩන්ට් අයිසිං නැවතත් හොඳින් අනාගෙන කේක් එක ආවරණය කිරීමට අවශ්‍ය ප්‍රමාණයට හොඳින් තුනීකරගන්න. විනාඩි 30කට පසුව ශීතකරණයෙන් එළියට ගත් කේක් එක මතට රෝලිං පින් එකක් ආධාරයෙන් තුනීකරගත් ෆොන්ඩන්ට් අයිසිං යොදා ගත යුතු අතර කේක් එක මත පළුදු හෝ වායු බුබුළු ඇති නොවන ආකාරයට හොඳින් අතින් කේක් එක මත ෆොන්ඩන්ට් අයිසිං එක අලවා ගන්න. ඉන්පසු වැඩි අයිසිං කොටස් කටර් එක්ක හෝ පිහියක් යොදාගෙන කපා ඉවත්කරන්න. කේක් එකේ නිමාව වැඩිකර ගැනීම සඳහා මෙහිදී කේක් එක වටා රතු රිබන් පටියක් යොදාගෙන ඇත.

එමෙන්ම කේක් එක තවදුරටත් අලංකාර කරගැනීම සදහා ෆොන්ඩන්ට් මඟින් සාදාගත් රෝස මල් කිහිපයක් විවිධ ප්‍රමාණවලින් යොදාගෙන ඇති අතර වෙනත් වර්ගයේ මල් කිහිපයක් ද යොදාගනිමින් මල් කලඹක නිමාව කේක් එක මතට ලබාගෙන ඇත.

එසේම මෙම මල් වර්ග නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන විවිධ කටර් වර්ග වෙළෙඳපොළෙන් ඔබට මිලදී ගත හැකියි. එමෙන්ම කේක් මත ඉංග්‍රීසි අක්ෂර සහිත කටර් මඟින් කපාගත් සුබපැතුමක් ද එක් කරමින් අලංකාර නිමාවක් ලබාගෙන තිබේ.

 

හදවත් හැඩය විවාහ ගිවිස ගැනීමටයි

මේ සඳහා යොදාගෙන ඇත්තේ කිලෝ එකක ප්‍රමාණයේ බටර් කේක් එකකි.

මෙහිදී ප්‍රථමයෙන් කේක් එක බටර් අයිසිංවලින් ආවරණය කරගෙන විනාඩි 30ක් පමණ ශීතතරණයේ තබන්න. ඉන්පසු ෆොන්ඩන්ට් අයිසිං සඳහා ළා රෝස පැහැති වර්ණය යොදා රෝලිං පින් එකක් ආධාරයෙන් හොඳින් තුනී කරගන්න. ඉන්පසුව ශීතකරණයෙන් එළියට ගත් කේක් එක මතට ෆොන්ඩන්ට් අයිසිං එක රෝලිං පින් එක ආධාරයෙන් තුනීකර ඉන්පසු හොඳින් මෘදුලෙස කේක් එක මත අලවා ගන්න. කේක් එක මත අයිසිං එක යොඳ නිමාවකින් යුතුව අලවා ගැනීම සඳහා ස්මූතර් එකක් යොදාගත හැකියි. ඉන්පසුව ළා රෝස පැහැති බටර් අයිසිං අංක 01 නොසල් එකට දමා රූපයේ දැක්වෙන ආකාරයට කේක් එක මත රටාවක් ආකාරයට යොදාගන්න. ඉන්පසු අලංකාර නිමාවක් සඳහා කේක් එකේ දාරය මත බටර් අයිසිං මඟින් බෝඩරයක් යොදාගන්න. පසුව ෆොන්ඩන්ට් අයිසිං මඟින් විවිධ රෝස පැහැති වර්ණ එකතු කර සාදාගත් රෝස මල් සහ ශාක පත්‍ර එකතු කර නිර්මාණය අලංකාර කරගෙන තිබේ. අවසානයේ ෆොන්ඩන්ට් අයිසිංවලින් කපාගත් ඉංග්‍රීසි අක්ෂර මඟින් සුබපැතුමක් ද එක් කර ඇත.

 

දම් පැහැය තේමාව නම්

මේ නිර්මාණය සඳහා ග්‍රෑම් 500ක බටර් කේක් දෙකක් එක මත එක තබා සැන්ඩ්විච් කරගනිමින් රූපයේ දැක්වෙන පරිදි උස ලබාගෙන ඇත.

ඉන්පසුව කේක් එක බටර් අයිසිංවලින් ආවරණය කිරීමට පෙර බටර් අයිසිං ස්වල්පයකට කිරි ස්වල්පයක් මිශ්‍ර කර සාදාගත් මෘදු අයිසිං ද්‍රාවණයෙන් මුළු කේක් එක ආවරණය කරගන්න. පසුව ඔබ සාදාගත් බටර් අයිසිං මඟින් කේක් එක මුළුමනින්ම ආවරණය කරගෙන ස්ෆැතුලා එකක් මඟින් පැහැදිලි හා අලංකාරව කේක් එක නිමා කරගන්න. කේක් එක අලංකාර කර ගැනීම සඳහා ෆොන්ඩන්ට් අයිසිං මඟින් සාදාගත් දම් පැහැති මඳක් විශාල ප්‍රමාණයේ රෝස මල් යොදා ගෙන ඇති අතර සුදු පැහැති ෆොන්ඩන්ට් මඟින් හදවතක හැඩයක් කපාගෙන එයට සිල්වර් ඩස්ට් එක යොදාගෙන මුදු රඳවනයක් නිර්මාණය කරගෙන ඇති අතර ෆොන්ඩන්ට් අයිසිං මඟින් සාදාගත් රන්පැහැති මුදු දෙකක් තබමින් එක තවත් අලංකාර කරගෙන ඇත. ඉන්පසුව රන් පැහැති පබළු කිහිපයක් කේක් එක මතුපිටට එක් කර ඇති අතර වෙළෙදපොළෙන් ලබාගත් යුවළගේ හැඩය ගත් ටොපර් (Wooden Cut Topper) එකක් තබා අලංකාර කරගෙන තිබේ