ඇස පිළිබඳ ඔබගේ දැනුමට බිඳක්

දෙසැම්බර් 3, 2018

ඇස කියන්නේ අපේ පංචේන්ද්‍රියයන් අතරින් කුඩාම මෙන්ම ඉතාම වැදගත් ඉන්ද්‍රියයි.

මෙම ඉන්ද්‍රීයයේ ක්‍රියාකාරීත්වය අඩුවුව හොත් හෝ එය අහිමි වුවහොත් ජිවිතයම අහිමි වූවා සේය. මන්ද අප කරන ඕනෑම ක්‍රියාවකට ප්‍රබලව දායකවන්නේ ඇසයි. මෙහි විවිධාකාර ආබාධයන් ඇතිවිය හැකියි. කෙතරම් ආරක්ෂණ ක්‍රම තිබුණ ද ඇස අනතුරට පත්වන හෝ රෝගීවන අවස්ථා බහුලය. වයසට යෑමත් සමඟම ඇතිවන ව්‍යාකූලතා මෙන්ම හදිසි අවස්ථා ද ඒ අතර වේ. මේ ඉන් අවස්ථා කිහිපයකි.

ඇසේ සුද

ඔබ වයස්ගතවීමත් සමඟ ඇසේ ඇතිවන සාමාන්‍ය තත්ත්වයකි. සුද මේරීම නිසා ඇසේ පෙනීම ක්‍රමයෙන් අඩු වී අන්ධභාවයට පත්විය හැකියි. සරල ශල්‍යකර්මයක් මඟින් සුද ඉවත්කර කාචයක් ඇසට ඇතුළු කිරීමෙන් සාමාන්‍ය පෙනීම ලබාගත හැකියි.

හතළිස් ඇඳිරිය

ඔබ වයස අවුරුදු 40 හෝ ඊට වැඩිනම්, පොත්පත් කියැවීමේ අපහසුතාවඅත්නම් ඇස් කණ්ණාඩි සඳහා පරීක්ෂා කරගන්න.

මාපියන් කුඩා කල පටන් ඇස් කණ්ණාඩි භාවිත කරයි නම් තම දරුවන්ගේ ද කුඩා අවදියේදීම ඇස් පරීක්ෂා කරවා ගන්න. දෘෂ්ටික ආබාධ ප්‍රවේණිගත තත්ත්වයක් විය හැකි නිසා යි.

ඔබේ දරුවා පහත ලක්ෂණ පෙන්නුම් කරයි නම්,

* ඉතා ළඟ සිට රූපවාහිනිය නැරඹීම

* අසාමාන්‍ය ලෙස හිස හරවා බැලීම

* හිසරදය

* නිතර ඇස් පොඩිකිරීම

* ඇසට ළංකොට පොත්පත් කියවීම

හැකි ඉක්මනින් ඇස් පරීක්ෂාවක් සඳහා යොමු වන්න.

ඔබේ ඇසට රසායනික ද්‍රව්‍යයක් ඇතුළු වූයේ නම් පිරිසුදු ජලයෙන් ඉතා හොඳින් ඇස් සෝදන්න. ළඟම ඇති රජයේ රෝහලකට හැකි ඉක්මනින් යොමුවන්න.

ග්ලූකෝමා රෝගය

නොදැනුවත්වම අන්ධභාවය ඇති කරයි. ඔබගේ ලේ ඥාතියකු හෝ පවුලේ කෙනකු ග්ලූකෝමා රෝගයෙන් පෙළෙයි නම් හෝ ඔබ වයස අවුරුදු 40 ට වඩා වැඩිනම් මෙම රෝගය සඳහා ඇස් පරීක්ෂා කරවා ගන්න.

දියවැඩියාව

ඔබ දියවැඩියා රෝගියකු නම් අවුරුද්දකට වරක්වත් ඇස් පරීක්ෂා කරවා ගන්න.

හෙදි නිලධාරිනී

එම්. පී. එස්. ආර්. පීරිස්