මහගු ගුණැති කෝමාරිකා

දෙසැම්බර් 26, 2018

කවුරුත් කැමැතියි ලස්සන වෙන්න. එහෙමයි කියලා හිතුමතේ ආලේප වර්ග ආලේප කරලා මූණ නම් කැත කරගන්න එපා. ඔබට අවශ්‍ය ලස්සන පෙනුම දැන් ස්වාභාවිකවම ලබාගන්න පුළුවන්. කෝමාරිකා කියන්නේ එලෙස ඔබේ රුව රකින ඖෂධීය ගුණයෙන් පොහොසත් ශාකයක්.

කෝමාරිකාවල 90% ක්ම අඩංගු වන්නේ ජලයයි. ඒ වගේම විටමින් ඒ, විටමින් සී, විටමින් ඊ වගේම ෆෝලික් ඇසිඩ්, මිනරල් වැනි සංඝටකත් එහි අඩංගු වෙනවා. කොමාරිකා ශාකයේ මැද ඇති ජෙලි කොටස තමයි රූපලාවණ්‍යයෙදී වැදගත් වෙන්නේ. එය යොදාගෙන ෂැම්පු, කන්ඩිෂනර්, ක්‍රීම් වර්ග සහ විවිධ ඔයිල් වර්ග නිපදවීම සිදුකරනවා.

කෝමාරිකා සතුව පවතින්නේ රූපලාවණ්‍යමය වාසි පමණක් නොවෙයි, එයින් ලැබෙන ඖෂධීය ගුණයත් ඉතාම ඉහළයි.

ආහාර දිරවීමට

ආහාර දිරවීමේ අක්‍රමිකතා නිසා වේදනා ගෙන දෙන බඩවැල් සහ අම්ල ප්‍රතිවාහවලට කෝමාරිකා යුෂ පානය ගුණ ගෙන දේ.

මලබද්ධය හා අතීසාරයට ද මෙය ගුණදෙන අතරම බඩවැල්වල මල පිට කිරීම් චක්‍රය ක්‍රමවත් කරයි.

තවද කෝමාරිකා මඟින් බඩවැලේ අහිතකර බැක්ටීරියා අවම කරයි.

විස ඉවත්කිරීම

ුහුදු පැළෑටි මෙන්ම කෝමාරිකා ද 'ජෙලටීනීමය ශාක ආහාර' ලෙස වර්ගීකරණය කර ඇත.

මෙම ජෙල් මඟින් බඩවැල් පුරා ඇති විස අවශෝෂණය කර මහ බඩවැල හරහා ඒවා ඉවත් කරයි. මෙමගින් සිරුරේ අපද්‍රව්‍ය ඉවත්කර විස හරණය කරයි.

මුඛයට හිතකරයි

කෝමාරිකා ජෙල් දත්මත ආලේපනයෙන් දත් මැලියම් ඉවත් කිරීමට උපකාරි වේ. එහි ඇති ප්‍රතිබැක්ටීරියා විනාශ කිරීමේ හැකියාව නිසා බැක්ටීරියා විනාශ කර මුඛය නැවුම්ව තබයි. එමඟින් ඒ සමඟ ශරීරයේ ඇතිවන අනෙකුත් රෝගමය තත්ත්වයන් ද අඩු කිරීමේ හැකියාව ඇත. කෝමාරිකාවල විටමින් සී අධිකව අඩංගුවීම දන්ත රෝගවලින් මුඛය ආරක්ෂා කිරීමට වැදගත් වේ.

ප්‍රතිශක්තිය වර්ධනය

කෝමාරිකාවල අන්තර්ගත එන්සයිමයන් මඟින් ප්‍රතිශක්තිකරණය වර්ධනය කරයි. රෝගී වූ අයට කෝමාරිකා පානය කරන්නට දීමෙන් ඉක්මන් සුවයක් වගේම ගතට ප්‍රාණවත් බවක් ලබාගත හැකියි.

ශරීරයේ ඇති උෂ්ණාධිකබව පාලනය කරයි

කෝමාරිකා සිසිල් කාරක ගුණයෙන් යුක්තයි. එම නිසා කෝමාරිකා පානය කිරීමෙන් ශරීරයේ පවතින උෂ්ණාධිකබව මඟහැරී යයි. එලෙස ශරීරයේ උෂ්ණය නිසා හටගන්නා බොහෝ රෝගයන්ට කෝමාරිකා දිව ඔසුවක් වේ.

විශේෂයෙන්ම මිනිස් සිරුරට අවශ්‍ය ඇමයිනෝ අම්ල 22 න් 20 ක්ම කෝමාරිකා ශාකයේ අඩංගුවීම විශේෂත්වයක්. ශරීරය තුළ නිපදවිය නොහැකි ඇමයිනෝ අම්ල වර්ග 7 ක් ම කෝමාරිකා තුළ අඩංගුයි.

විශේෂයෙන්ම ආමාශයේ ඇතිවන තුවාල සහ දියවැඩියාවට ඖෂධයක් ලෙසත් කෝමාරිකා භාවිත කරනවා.තවද අධික තරබාරුව පාලනය කිරීමටත්, මලබද්ධය සුව කිරීමටත්, මුත්‍රා දැවිල්ල වැනි රෝග තත්ත්වයන් පාලනය කිරීමටත් කෝමාරිකාවලට හැකියාවක් තියෙනවා.

හිරු එළියෙන් පිලිස්සුණු සමකට

කෝමාරිකා යුෂ සම මත ගැල්වීම තුළින් හිරු එළියෙන් ආරක්ෂාවීමට උවමනා කරන වැස්මක් වැනි දෙයක් නිර්මාණය වනවා. කෝමාරිකා යුෂවලින් සම තුළට විකිරණ ඇතුළුවීම වළක්වනවා සේම එමඟින් සමට ආරක්ෂක පටලයක් ලෙස ක්‍රියා කරනවා.

තෙතමනය පවත්වා ගැනීමට

කෝමාරිකා විශේෂයෙන්ම ප්‍රසිද්ධ වන්නේ සමේ තෙතමනය ලබාදීමට උදවු කරන ශාකයක් ලෙසයි. සමේ වියළිභාවය තුරන් කරමින් අවශ්‍ය තෙතමනය පවතවා ගැනීමට කෝමාරිකාවල යුෂ වැදගත් වෙනවා.

ආසාදන සහ සීරීම් කැළැල්වලට

කෝමාරිකාවල ඇති සිසිලස හේතුවෙන් සමේ ඇතිවන ආසාදන, දැවිල්ල, බිබිලි හා කැසිලි වැනි දේවල් සඳහා ප්‍රතිකාර කිරීමේ හැකියාවක් තිබෙනවා. එමෙන්ම කෝමාරිකා ආලේප කිරීමෙන් සම මතුපිට ඇතිවන සීරීම් ඉක්මනින් සුවකර දීමට හැකි වෙනවා. එමෙන්ම කැළැල් ද නැති කිරීමේ හැකියාව කෝමාරිකාවලට තිබෙනවා.

කෙස් කලඹට හිස්හොරි පාලනය කිරීමට

කෝමාරිකා යුෂ, විටමින් ඡ් සමඟ හිසෙහි ආලේප කිරීමෙන් නිරෝගී කෙස් කලඹක හිමිකාරියක් විය හැකියි. එමෙන්ම කෝමාරිකාවලට හිස්හොරි නැති කිරීමේ හැකියාවද පවතිනවා. ඒ කෝමාරිකා යුෂ ෂැම්පු එකක් ලෙස භාවිත කරමිනුයි. එමඟින් හිස් කබලෙහි ඇති වියළිබවත් මගහරවයි.

තරුණ පෙනුම වඩවයි

කෝමාරිකාවල ඇන්ටි ඔක්සිඩන්ට්, විටමින් ඛ් හා ඡ් තිබෙනවා. එම නිසා සමේ පැහැය වර්ධනය වනවා සේම සම වයසට යෑම ද අවම කරනවා. මුහුණේ රැලි වැටීම ද පාලනය කරනවා.

ඊට අමතරව ගැස්ට්‍රයිටීස් සඳහා, හන්දිපත් වේදනාවට, අක්ෂි රෝග, චර්ම පිළිකා, අර්ශස් සහ සුව නොවන තුවාල වැනි රෝග රැසකට කෝමාරිකා ගුණදායකයි.

ඔබේ ගෙවත්තෙත් කෝමාරිකා වගා කර මේ ප්‍රතිලාභ අත්විඳින්න.

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් දළුගම Degreens Salon සහ නුගේගොඩ Seven Look, හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා