අල්ට්‍රාසොනික් කැවිටේෂන් යන්ත්‍රය

ජනවාරි 30, 2019

බොහෝ කාන්තාවන්ගේ සිහිනයක් වන්නේ අවට ඇති සමාජය ඉදිරියේ ආකර්ෂණීය චරිතයක් වීමයි. එවැනි ආකර්ෂණීය චරිතයක් වෙන්නට නම් පෙනුම ප්‍රධාන ලෙස බලපානවා.

නිරෝගී සම්පත උතුම්ම ලාභය වන්නා සේම මනා රූ සම්පත්තියක් යනු විශේෂයෙන්ම කාන්තාවන්ට ආභරණයකි. නමුත් දැන් කාන්තා, පිරිමි භේදයකින් තොරව රුව රැක ගැනීමට රූපලාවණ්‍ය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. සැබැවින්ම එය සතුටට කාරණයක්.

මෙලෙස ඔබේ රුව ඔප් නැංවීමට රූපලාවණ්‍ය ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය අතිමහත්ය. වර්තමානය වනවිට රුවෙහි පවතින ගැටලු සමනය කිරීම සඳහා යන්ත්‍ර, උපකරණ රාශියක්ම නිර්මාණය වී තිබේ. එබැවින් දියුණු තාක්ෂණය තුළින් එම යන්ත්‍ර හරහා අදාළ සේවාවන් පහසුවෙන් සහ කාර්යක්ෂමව කර ගැනීමට අවස්ථාව උදා වී ඇත.

අද දින අප කතා බහට ලක් කරන්නේ රුවෙහි ගැටලු සුව කරනා යන්ත්‍ර පිළිබඳවයි. එය රූපලාවණ්‍ය ගැන උනන්දු වන ඔබට වගේම නවක රූපලාවණ්‍ය ශිල්පීන්ටත් අතිශයින්ම වැදගත් වේවි.

Ultrasonic Cavitation යන්ත්‍රය, රූපලාවණ්‍ය තුළ දී බහුලව යොදා ගැනෙන යන්ත්‍රයකි. විදුලිය මඟින් ක්‍රියාත්මකවන මෙම යන්ත්‍රය, රූපලාවණ්‍ය තුළදී පමණක් නොව ඇතැම් රෝග සුවකර ගැනීම සඳහා වෛද්‍ය විද්‍යාව තුළදී ද භාවිතයට ගනියි.

අල්ට්‍රාසොනික් කැවිටේෂන් යනු

අල්ට්‍රාසොනික් කැවිටේෂන් යනුවෙන් හැඳින්වෙන්නේ ශල්‍යකර්ම වෙනුවට, ශරීරය මතුපිට පවතින මේදය, ශබ්ද තරංග හරහා ඉවත්කර ගැනීමේ ක්‍රියාවලියටයි.

මෙම උපරකණය මුහුණට, උදරයට, කලවා ආදී ශරීරයේ ඕනෑම කොටසක භාවිත කිරීමේ පහසුකම ඇත. උපරකණය හරහා නිකුත් කරන ශබ්දයන් සමට කාවැද්දීම තුළින් සමෙහි ඇති මේද සෛල විනාශවීම සිදුවේ. එයින් කියවෙන්නේ මේද සෛල පුපුරා යෑමක් නොව, සෛල තුළ පවතින මේදය හිස් කිරීමකි. එලෙස මේද අධික සෛලවල මේදය ඉවත්වීම නිසා ශරීරයේ රැළි වැටීම අවමකර සමෙහි පවති සෛල සමට තදවීමක් සිදුවේ. එම නිසා සමෙහි එල්ලා වැටෙන ස්වභාවය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වේ.

මෙම යන්ත්‍රයෙහි ශබ්ද තරංග රාශියක් අන්තර්ගතව පවතී. සමෙහි ස්වභාවය සහ ශරීරයේ ස්ථානය අනුව සුදුසු ශබ්ද තරංගය තෝරා ගැනීම කළයුතුයි. එමෙන්ම එම ශබ්ද තරංගයන් නිකුත් කරන කාලය, යන්ත්‍රය මඟින් හැසිරවිය හැකියි.

 

 

2019/01/30 තරුණි බලන්න