කුරළෑවලින් තොර සිසි වුවනකට..

ජනවාරි 30, 2019

හිරිමල් විය නැතිනම් නවයොවුන් විය බොහෝ සුන්දර ය. එහෙත් ඔවුනට ගැටලු ද නැත්තේ නොවේ. බොහෝ විට ඔවුනට මතුවන්නේ රුව පිළිබඳ වන ගැටලු ය. එසේ වන්නේ නව යොවුන් වියට ම අදාළ වූ රුව ගැටලු ද පවතින බැවිනි.

මෙම රුව ගැටලු නිසි ලෙස විසඳා නොගතහොත් එය කාලයක් පවතින තෙක් ඔබේ රුවට හානි සිදු කිරීමට ද හැකියි.

කුරුළෑ යයි පැවසූ පමණින් ම ඒ පිළිබඳ බියක් ඇතැම් නව යෞවන වියේ පසුවන අය තුළ පවතී. එසේ වන්නේ එපමණට ම කුරුළෑ නිසා ඔවුන් පීඩාවට පත්ව සිටීමයි. ආයුර්වේදයේ දී මෙය හඳුන්වනුයේ මුඛදූෂිකා රෝගය හෙවත් තරුණ්‍ය පීඩකා ලෙසයි. මෙය විශේෂයෙන් ම ඇති වන්නේ තරුණ වියට එලඹීමත් සමඟයි.

එසේ සිදු වන්නේ අවුරුදු 15-16 වන විට සාමාන්‍යයෙන් මිනිස් සිරුරේ හෝමෝන ක්‍රියාත්මක වීම ආරම්භ වීමත් සමඟයි. මෙය විශේෂයෙන් ම යෞවනියන් අතර සුලබ තත්ත්වයක් දක්නට ලැබෙයි.

මෙසේ කුරුළෑ ඇති වීමට හෝමෝන වෙනස් වීම පමණක් නොව තෙල් සහිත සමක් තිබීම, අහිතකර ආලේපන භාවිතය, මානසික අසහනකාරී තත්ත්ව, ඇසිඩ් සහිත ආහාර පාන, හිස්හොරි ඇති වීම, ආමාශයේ ඌෂ්ණාධික බව, අපිරිසුදු බව, තෙල් අධික හා ඌෂ්ණාධික ආහාර පාන නිසා වැඩි වශයෙන් මෙම රෝගී තත්ත්වයට බලපෑම් ඇති කරයි.

විශේෂයෙන් ම ආයුර්වේදයේ කුරුළෑ වර්ග හයක් සඳහන් වේ.

1. තාරුණ්‍ය පීඩකා (හෝමෝන වෙනස් වීම නිසා)

2. රෝසාසෙ පීඩකා (තෙල් අධික වීම නිසා)

3. ආටිපිලේ (සමට අහිතකර දේ ගැල්වීම)

4. වල්ගාරිස් (රෝමකූප තුළට කුණු දූවිලි තැන්පත් වීම)

5. පිලයාරිස් (ඌෂ්ණාධික බව නිසා

ඇස් පිහාටු මත කුරුළෑ ඇති වීම)

6. ජෙනරාලිස් ( සිරුර පුරාම කුරුළෑ ඇති වීම- හිස්හොරි නිසා)

මේ සඳහා ආයුර්වේදයේ ප්‍රතිකාර බොහොමයක් පවතී. ඒවා මොනවාදැයි දැන් අපි බලමු.

* කොහොඹ කොළ, වෙනිවැල්් කැබැලි කිහිපයක්, කහ අල කැබැල්ලක් දෙකක් දමා වතුර උණු කරන්න. මෙම ජලයේ උණුසුම අඩු වූ පසු මඳ උණුසුම ඇති විට මුහුණ සෝදන්න.

* වෙනිවැල්, ඉඟුරු පිටි, වැල් මදට, සුදු හඳුන්, කොත්තමල්ලි චූර්ණය කරගෙන එයට මීපැණි තේහැඳි භාගයක් එකතුකර ඉතා සියුම්ව ස්ක්‍රබ් කරගන්න.

විනාඩි 30 ක පමණ වේලාවක් තිබෙන්නට හැර සෝදා හරින්න. ඉන්පසුව වෙනිවැල් තැම්බූ ජලයෙන් ස්ටීම්කර පිම්පල් එක්ස්ටැක්ටරයක් මඟින් කුරුලෑ හොඳින් පිරිසුදු කරගන්න. 

2019/01/30 තරුණි බලන්න