දෙහි ලෙල්ලෙන් රුව වඩන සත්කාර

පෙබරවාරි 6, 2019

මුළුතැන්ගෙට නැතිවම බැරි රස කාරකයක් වගේම වෙලාවකට ඖෂධයක්, තවත් වෙලාවකට රූපලාවණ්‍ය කටයුතුවලටත් භාවිතයට ගන්නා දෙහි කියන්නේ අපි හැමෝටම වැදගත් වන අමු ද්‍රව්‍යයක්.

විටමින් C  බහුලව අන්තර්ගත දෙහිවලින් අපිට ලබාගන්න පුළුවන් ප්‍රයෝජන රැසක් තියෙනවා. මේ කියන්න යන්නේ එවැනි ප්‍රයෝජන කිහිපයක් ගැනයි.

භාවිතයට ගත් දෙහි ගෙඩියේ ලෙල්ල විසි කිරීමට පෙර එමඟින් ඔබේ නියපොතු හොඳින් අතුල්ලන්න. නියපොතුවල ඇති කුණු දුහුවිලි, දෙහිවල ඇති අම්ල ගතියෙන් හොඳට පිරිසුදු කරනවා. නියපෙළ පිරිසුදුවට සහ ලස්සනට තියාගන්න එය හොඳ ක්‍රමයක්.

දෙහි යුෂ ස්වාභාවික විරංජකයක් ලෙස ක්‍රියා කරනවා. භාවිතයට ගත් දෙහි ලෙල්ල අඳුුරු ලප ඉවත් කිරීමට යොදා ගන්න පුළුවන්. කළ යුත්තේ එය ඔබේ සමේ අඳුුරු කොටස්වල මෘදුව අතුල්ලන එක. ඊට පස්සේ විනාඩි 30 ක් තබන්න. හැබැයි ඔබ මේ දේවල් කරන්න ඕනෙ නිවෙස ඇතුළත ඉඳගෙනයි. එම කාලය තුළ හිරු එළියට නිරාවරණය වීම සුදුසු නොවේ.

මෙමඟින් කුරුලෑ, කුණු, දූවිලි, තෙල් සහ මැරුණු සම ඉවත් කරගන්න පුළුවන්. ඒ වගේම බැක්ටීරියා වැනි තත්ත්වයන් නිසා සිරුරේ ඇතිවන බිබිලි, විවිධ ආසාදන සුව කරන්නත්, සමට දීප්තිමත් පෙනුමක් ලබා ගැනීම සඳහාත් ඔබට මෙය උදවු කර ගන්න පුළුවන්.

දෙහි ලෙල්ල අරගෙන එයට සීනි ටිකක් ඉස එයින් ඔබේ දෙතොල් හොඳින් ස්ක්‍රබ් කරන්න. මෙමඟින් ඔබේ තොල්වල මැරුණු සම ඉවත් කර තොල් රෝස පැහැ ගන්වයි. සීනි වෙනුවට ඔයා පිරිසුදු මීපැණි භාවිත කරන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි.

ඒ වගේම සතියකට දෙතුන් වරක් දෙහි ලෙල්ලක් හිස් කබලේ සෙමින් අතුල්ලන්න. හිස්හොරි තත්ත්වයට එයින් විසඳුමක් ලැබෙනවා. හිස කෙස් වර්ධනයටත් හිස කෙස්වල දීප්තිමත් බවටත් එය උදවු කරනවා.

 

 

උපදෙස් - රූපලාවණ්‍ය ශිල්පිනී
ලංකා කුමාරි ලක් රූ සැලෝන්- දළුගම