මේක්-අප් එක්ක නින්දට යන්න එපා

මාර්තු 6, 2019

ඔබ කෙතරම් කාර්යබහුල වටපිටාවක් සමඟ ගනුදෙනු කළත් සෑම මොහොතකම ලස්සනට ඉන්නයි කැමැති. ඔබට ඔබව පේන වගේම අනෙක් අයත් ඔබව දකින් කැඩපත වන්නේ මුහුණයි.

ඉතිං සෑම කාන්තාවක්ම පාහේ ඒ ඒ අවස්ථාවන්ට අනුකූලව මේක්-අප් එකකින් වර්ණවත් වෙන්න දක්වන්නේ දැඩි කැමැත්තක්.

අද බොහෝ කාන්තාවන් වයස් භේදයකින් තොරව විවිධ උත්සව අවස්ථාවලට මේක්-අප් එකකින් මුහුණ ලස්සන කර ගන්නවා. ඒත් ඔබ මේක්-අප් එකකින් වර්ණවත් විම තරමක් පරීක්ෂාකාරිව සිදුකළ යුතු දෙයක්.

ඔබේ සමට වගේම මුහුණට සරිලන මේක්-අප් එකක් ඔබ තෝරා ගත යුතුයි.

මේක්-අප් එකකින් හැඩවැඩ වෙන්න උනන්දු වුණත් ගොඩක් දෙනෙක්ට මේක්-අප් සෝදා හැරීම පිළිබඳව නම් පැහැදිලි අවබෝධයක් නෑ. ශරීරයේ සෙසු ස්ථානයන්ට වඩා මුහුණේ සම ඉතාමත් සංවේදියි.

ඉතිං මේක්-අප් කිරීමකින් අනතුරුව මේක්-අප් ඉවත් කිරීමත් ඉතා වැදගත්. විශේෂයෙන්ම ඔබ නින්දට යෑමට පෙර මුහුණේ මේක්-අප් ඉවත් කළ යුතුයි.

සම වියැළීමට ලක් වෙනවා

මේක්-අප් එකකින් ඔබේ මුහුණේ පෙනුම තරමක් ලස්සන කර පෙන්වනවා. නමුත් මේක්-අප් එකක් දැමීමෙන් මුහුණේ සමට අවශ්‍ය වාතාශ්‍රය නිසි පරිදි ලැනේනේ නැහැ. ඝනකම් ෆවුන්ඩේෂන් ආලේප කිරීමෙන් හා පවුඩර් වර්ග වලින් සමේ සිදුරු සියල්ල අවහිර වෙනවා. එවිට සමට වාතාශ්‍රය උරා ගැනීමට හැකියාවක් ලබෙන්නේ නැහැ. එවිට සම වියළීමට ලක් වෙනවා. ඒ නිසා රාත්‍රී කාලයේදී හෝ සමට වාතාශ්‍රය ලබාදීම ඉතා වැදගත්. ඒ නිසා රාත්‍රී කාලයට මේක්-අප් සමඟ නින්දට යාම එතරම් සුදුසු ක්‍රියාවක් නොවෙයි. ඒ වගේම සම අලුතින් වර්ධනය වන්නේ ද රාත්‍රී කාලයේදීයි. ඒ නිසා මුහුණේ සමට විවේකය අත්‍යවශ්‍යයි. කුමන අවස්ථාවක් වෙනුවෙන් ඔබ මේක්-අප්වලින් වර්ණවත් වුවද අවස්ථාව නිම වූ වහාම මේක්-අප් මුහුණෙන් ඉවත් කර සමට අවශ්‍ය විවේකය ලබා දෙන්න.

 

තරුණි 2019/03/06 බලන්න.