පිරිසුදුකම ගැන හිතන ඔබට නවතම මාදිලියේ සනීපාරක්ෂක තුවා

මාර්තු 27, 2019

කාන්තාවන් තම රුව ලස්සන කර ගන්න නොකරන දෙයක් නැහැ. රුව ලස්සන කරනවා කියන්නේ මුහුණට පමණක් නොවෙයි කේශාන්තයේ සිට පාදාන්තය දක්වාම රැක ගැනීම, ලස්සනට තබා ගැනීම මෙන්ම පිරිසුදුවට තබා ගැනීමයි.

නමුත් බොහෝ දෙනකුගේ ලස්සන කියන දේ මුහුණට පමණක් සීමා වෙලා. මුහුණේ ලස්සන රැක ගන්නවාට වඩා සමස්ත සිරුරේම සුන්දරත්වය, පිරිසුදුබව වැඩිකර ගන්න අවශ්‍ය දේවල් කරන එක තමයි ගොඩක් වැදගත්. මුහුණේ පැහැය, ලප කැළැල්, දෙතොල්වල සුන්දරත්වය ගැන වගේම කෙස් කලඹ, නිය පෙළ, අත් කකුල්වල සුන්දරත්වය ගැනත් අවධානය දිය යුතුයි. නැත්නම් මුහුණ බලලා කකුල් දෙක දිහා බලද්දී මුහුණේ තිබුණ ලස්සනෙනුත් වැඩක් නැති වෙනවා.

ඒ සෑම තැනක්ම පිරිසුදුවට, පිළිවෙළට තිබුණත් පුද්ගලික ස්ථානවල පිරිසුදුභාවයක් නැතිනම් ඒ ලස්සනත් නැති වෙනවා. ඔබට හිතෙනවා ඇති ඕනෑම කෙනෙකුගේ ඇස ගැටෙන්නේ ශරීරයේ බාහිර පෙනුම පමණක් නිසා, අභ්‍යන්තර පෙනුම ගැන අවධානයක් යොමු කිරීම එතරම් වැදගත් නොවෙයි කියා. රහස් ප්‍රදේශයේ පිරිසුදුකම මුළු ශරීරයම නිරෝගිව තබා ගැනීමට හේතුවක් වන ව ඔබ නොදන්නවා විය හැකියි. ඒ නිසයි ඔබ වැඩි අවධානයක් ඔබේ පුද්ගලික ස්ථාන කෙරෙහි යෙදවිය යුත්තේ.

ඔබගේ ශරීරයේ සුමුදුම සහ සංවේදීම ප්‍රදේශය වන්නේ ඔබගේ රහස් ප්‍රදේශයයි. ඒ නිසාම විසබීජ සහ බැක්ටීරියා ආසාදන ඇතිවීමට වැඩි ඉඩකඩක් තිබෙනවා. විශේෂයෙන්ම ඔබේ මාසික ඔසප් දිනවල මේ පිරිසුදුකම ගැන වැඩි සැලකිල්ලක් දැක්වීම වැදගත්. ඔසප් දිනවලද රහස් ප්‍රදේශයේ ඇති තෙත් ගතිය සහ අපහසුතා මඟහරවා ගැනීමට සනීපාරක්ෂක තුවා එහෙමත් නැතිනම් පෑඩ්ස් පාවිච්චි කරනවා. ඒ දිනවල ඇතිවන තෙත් ගතිය නිසි ලෙස උරා ගැනීමක් සිදු නොවී එලෙසම තිබුණොත් බැක්ටීරියා ආසාදනවලට ගොදුරු විය හැකියි.

එම පෑඩ්ස් යොදාගන්නේ එවැනි අපහසු දිනවලට වූවත් දිනපතා පාවිච්චි කළ හැකි පෑඩ්ස් වර්ගයක් ද දැන් වෙළෙඳපොලේ ඇති බව ඔබ දන්නවා ද? මෙය ඇසූ විගස ඔබට සිතෙනු ඇති. ඔසප් දිනවල ද අපහසුවෙන් ඇද සිටින පෑඩ්ස් දිනපතා ඇඳිය හැකිද කියා.

මෙය හඳුන්වන්නේ පෑන්ටි ලයිනර් යනුවෙනි. මෙය පෑඩ්ස් වර්ගයක් වුවත් සාමාන්‍ය පෑඩ්ස්වලට වඩා ඝනකමින් ඉතා අඩුයි. ඉතා තුනී නිසා කිසිදු අපහසුවක්ද නොදැනේ.

බැක්ටීරියා ආසාදන වළක්වයි

මෙය යෝනි ප්‍රදේශයේ ඇති සියුම් සම ආරක්ෂා කිරීමටත්, ස්වභාවිකව ඇතිවන තෙත් ස්වභාවය සහ දහදිය ඉක්මනින් උරා ගනී. ඒ නිසා යෝනී ප්‍රදේශයේ කැසීම, දුර්ගන්ධය, විසබීජ ආසාදන තත්ත්වයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. ඒ වගේම සුද යාමේ රෝගී තත්ත්වයන් ඇති අයටත් මෙය ඉතා සුදුසුයි.

2019/03/27 තරුණි පුවත්පත බලන්න