හයි-ෆ්‍රීක්වන්සි සත්කාරයෙන් හිස් හොරිවලට තිත

අප්‍රේල් 17, 2019

අද කාලේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි හිස්හොරි. මේ නිසාම ලස්සනට කොණ්ඩේ තියාගන්න බැහැ. විශේෂයෙන්ම හිස්හොරි බහුලව පැවතීම තුළින් බොහෝ දෙනෙක් මහත් පීඩාවට පත් වෙනවා. හිස්හොරි කරදරයට පිළියමක් නොගත්තොත් ඔබගේ හිසකෙස් තවත් අවලස්සන වෙන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.

උපතින්ම ඔබ දිගු වරලසක හිමිකාරියක වුවත් එය නිරෝගී සුන්දර වරලසක් කර ගැනීමට නම් නිසි සත්කාර සිදුකළ යුතුමය. ඒ සඳහා හිස කෙස්වල ඇති රෝග හඳුනා ගනිමින් නිසි ප්‍රතිකාරවලට යොමුවීම වැදගත්ය. හිස්හොරි ලෙස හඳුනාගන්නේ ද එලෙස හිස කෙස්වල රෝග ඇති කරන තත්ත්වයකි.

ඇයි හිස්හොරි හැදෙන්නේ?

බොහෝ දෙනෙක් වැඩ රාජකාරි එක්ක ඉතාමත් කාර්යබහුලයි. හිසකෙස් ලස්සනට තියාගන්න ගොඩක් දෙනෙක් විවිධ ස්ප්‍රේ වර්ග, ඔයිල් වර්ග හා ජෙල් වර්ග භාවිත කරනවා. අපි විවිධ ක්‍රම මඟින් හිස කෙස්වලට ලස්සන කොණ්ඩා මෝස්තර කළත් පසුව නිසියාකාරයෙන් හිස්කබල සහ කෙස් කලඹ පිරිසුදු කර ගන්නේ නැහැ. සමහරවිට කොණ්ඩ මෝස්තර කිරීමෙන් පසුව දින දෙකක් තුනකින් තමයි ඇතැම් අය හිසකෙස් පිරිසුදු කරන්නේ. ඉතිං හිසකේ ගැල්වූ ද්‍රව්‍ය, දහඩිය හා කුණු දුහුවිලි එකට මුහු වුණාට පස්සේ හිස්හොරි හැදෙනවා.

හිස්හොරි හැදෙන්න තවත් හේතුවක් තමයි එයාර් කන්ඩිෂනර් කාමරවල වැඩිපුර සිටීම. එමඟින් හිසේ තෙතමනය අඩුවී අපගේ හිස් කබල වියළීමකට ලක් වෙනවා. ඉතිං වියළුණු හිස් කබලේ සම කුඩා කෑලි හිස්හොරි විදියට ඉවත් වෙලා යනවා. නමුත් මෙය හිස්හොරි තත්ත්වයක් නොව හිස් කබල වියළීම නිසා ඇතිවන තත්ත්වයකි. බොහෝ දෙනා හිස්හොරි සහ හිස් කබලේ වියළි බව යන අවස්ථා දෙකම එකක් ලෙස සිතන නිසා නිවැරැදි ප්‍රතිකාරය හඳුනා ගැනීමට නොහැකි වෙනවා.

හිස්හොරිවල ස්වභාවය අනුව වර්ගීකරණය කෙරේ. ඒ වියළි හිස්හොරි සහ තෙල් සහිත හිස්හොරි යනුවෙනි. හිසේ හිස්හොරි ඇති කිරීමට බලපාන හේතු අතර හිසේ සමේ තෙල් සහිත බව, නිසි රුධිර ගමනාගමනයක් නොවීම, වෙනත් අයගෙන් බෝවීම, හිසේ සමේ වියළි ස්වභාවය සහ අපිරිසුදුකම ප්‍රධානයි.

ඉපැරැණි ක්‍රමවේද අනුව දෙහි යුෂ, ගොඩපර, නෙල්ලි තම්බා ආලේප කිරීම ද හිසට මනා සත්කාරයකි. එමෙන්ම දෙහි හා උළුහාල් තම්බා ආලේප කිරීමත් එවැනිම සත්කාරයකි. මෙම සත්කාරය හිස්හොරි මර්ධනය සඳහා වූ සුදුසුම ස්වභාවික ප්‍රතිකාරයකි. නමුත් අද නගරබදව ජීවත්වන බොහෝ දෙනා කාර්යබහුල දිවියක් ගත කරන නිසාම මෙවන් සත්කාරවලින් ක්‍රමයෙන් ඈත්වන බවක් පෙනී යයි. එහෙත් නවින තාක්ෂණය සමඟ හිස්හොරි මර්දනය කිරීමට ඉතාමත් සියුම් කිරණ සහිත යන්ත්‍ර භාවිත කරයි. එමඟින් හිසේ සමේ සිදුරුවල හටගන්නා දිලීර වර්ග විනාශ කර ඒවා ආරක්ෂා කර දෙයි. මෙය හිස්හොරි සඳහා වර්තමානයේ දී භාවිත කරන ප්‍රතිඵලදායකම ක්‍රමයයි. ඒ සඳහා බොහෝ රූපලාවණ්‍ය ආයතන භාවිත කරන්නේ හයි-ෆ්‍රීක්වන්සි යන්ත්‍රයයි.

 

 2019/04/17 තරුණි පුවත්පත බලන්න.