අඩුම මුදලකින් ලස්සන වීමේ ලස්සන රහස්...

අප්‍රේල් 24, 2019

සෑම යුවතියක්ම සුන්දරය. තමාගේ සුන්දරත්වය ඉස්මතු කරගත් විට ඇය සැබෑම රුවැත්තියකි. එහෙත් තමාට සොබා දහමින් උරුම වූ සමේ පැහැය ගැන සිතමින් ලතැවෙන යුවතියන් බොහෝය.

තමාගේ සමේ පැහැය කුමක් වුවත් ඔබට උරුමව ඇත්තේ පැහැපත් සමකි. එය පැහැපත් කරගත් විට ඔබේ රුව සුන්දරත්වයෙන් බබළවයි. ඒ සඳහා ඔබ මුලින්ම කළ යුත්තේ සමේ ස්වභාවය හඳුනාගැනීමයි.

මන්ද යම් ආලේපනයක් ඉක්මනින්ම ප්‍රචාරාත්මක ජනපි‍්‍රයත්වයක් දිනාගන්නේ නම් කිසිදු වග විභාගයක් නොමැතිව බොහෝ යුවතියන් අද එකී ආලේපන වර්ග මුහුණේ ආලේප කරන තැනට පත්වී තිබේ.

මුහුණේ සම තෙල් සහිත නම්

කස්තුරි කහ කුඩු මේස හැඳි 01 ක්, කඩල පිටි හැඳි 05 ක්, වෙනිවැල් ගැට කුඩු මේස හැඳි 1/2 ක්, මී පැණි බින්දු 02ක්, රෝස වතුර මේස හැඳි 06 ක් ගෙන මිශ්‍රකර ආලේප කරන්න. මුහුණ, උරහිස්, දෑත්, පපු පෙදෙස, ගෙල හා පිට පෙදෙස්වල ආලේපකර පිරිමදින්න.

රළු සමට සුසිනිඳු පෙනුමක් ලබාගැනීමට නම්

වියළි රළු ගතිය(ගොරෝසු) ඇති සමක් නම් බිත්තර සුදුමදය, අලිපේර මදය, ලෙමන් යුෂ මේස හැන්දක් දමා අඹරා මුහුණේ ආලේප කරන්න. ආලේප කිරීමට පෙර ක්ලෙන්සර් කරන්න.

පැයකින් පමණ පවිත්‍ර දියෙන් සෝදාහරින්න. මෙවන් ඖෂධීය සත්කාර කිරීමට ඔබ නිදහස් කාන්තාවක් වීම අනිවාර්යය වේ. රැකියාවක නිරතවේ නම් තරමක් අසීරුයි.

නිරෝගිමත් දෙපා යුගලකට

සීනක්කාරම්, වෙනිවැල්ගැට කුඩු, කස්තුරි කහ, විෂ්ණුක්‍රාන්ති සමඟ අඹරා දෙපාවල තවරන්න. නින්දට පෙර ආමන්ඩ් ඔයිල් සහ ග්ලිසරීන් දෙකම මිශ්‍රකර දෙපාවල ආලේප කරන්න. ලස්සන වේ.

තද උණුසුම් ජලයට ලුණු කැට කීපයක් දමා කලවම්කර දෙපා දිනපතාම නින්දට පෙර විනාඩි 10 ක් සෝදන්න. දෙපා ලස්සන වේ.

 

විළුඹ පුපුරා ඉරිතලා ඇත්නම්

විළුඹ පුපුරා ඉරිතැලී ඇත්නම් එළඟිතෙල්, එඬරුතෙල්, එළකිරි හෝ යොදය රත්කොට පුළුන්වලින් ඒ තැන ආලේප කරන්න.

ඇඟ පුරාම කළු ලප ද?

සිරුරේ තුවාල, කළු ලප කැළැල් ඇත්නම් මුහුණේ පපුවේ හෝ සිරුරේ යම් තැනක ඇත්නම් කොහොඹ කොළ, පොතු, මල්, දලු, ඇට, මුල් පංචාංගයම තලපයක් සේ සාදා එළඟිතෙල් මිශ්‍රකර ආලේප කරන්න. කැළැල් මකාගත හැකිවේ.

පැහැපත් ගෙලකට

සුදු හඳුන් කුඩු මේස හැඳි 2ක් යෝගට් ටිකක්, මීපැණි බිංදු 3ක් සමඟ මිශ්‍රකර බෙල්ල අවට ආලේපකර පිරිමදින්න. ලස්සන ගෙලක් හිමි වේ.

උකුණන්, හිස්හොරි නොමැති කෙස් කලඹකට

ගොඩපර ගෙඩි 5ක්, උළුහාල් මේස හැඳි 2ක් ගෙන එයට බිත්තර සාරු දමා සිහින්ව ගලේ අඹරා දෙහි යුෂ දමා එම තලපය හිසේ තවරා පැය බාගයකින් හිස සෝදන්න. ලස්සන කෙස් කලඹක් ඇති වේ. උකුණන් හිස්හොරි විනාශ වේ. මුකුණුවැන්න කොළ හා දළු අඹරා බිත්තර මදය මිශ්‍රකර කෙස් කලඹේ තවරා පැය 2කින් පමණ ස්නානය කරන්න. සතියකින් ඔබට ලස්සන කෙස් කලඹක් ඇති වේ.

නිල් අවරියකොළ, අරළු, තිප්පිලි, කෝමාරිකා, වෙනිවැල්ගැට, දෙහිකොළ, අමුනෙල්ලි ගෙඩි, නිකකොළ, දුම්මැල්ල, කීකිරිදිය, විෂ්ණුක්‍රාන්ති, උඳුපියලිය සමවගෙන තම්බා මඳ රස්නයෙන් හිස සෝදන්න. පසුව ස්නානය කරන්න. ලස්සන දිදුලන කෙස් කලඹක් ඇති වේ.

රත්මල්, වදමල් ඇල්දියෙන් අඹරා හිස සෝදන්න.

නොවැඩුණු පියයුරු වර්ධනාලේපයක්

කරපිංචා කොළ කොටා මිරිකා එම යුෂට තල තෙල් දමා රත්කර නිවුණාට පසු රාත්‍රී පියයුරුවල ආලේප කරන්න. නොවැඩුණු පියයුරු මනාව වර්ධනය වේ.

* ගිතෙල්, මීපැණි, අමුක්කරා, එරබදු අල, කොකුම්පොතු , කලාඳුරු අල, නෙළුම් ඇට අඹරා ආලේප කිරීම නිසා ද ප්‍රතිඵල ලැබේ.

* වරකා කොස් ඇට තලා තම්බා කුඩා රෙදි පොට්ටනියක බැඳ පියයුරු මනාව තවන්න. ප්‍රතිඵල වහා ලැබේ.

ඉහත සඳහන් අපේ දේශීය ශාකසාර ඖෂධ ප්‍රතිකාර මඟින් කාන්තා තරුණ සිරුර ලස්සන කරගැනීමට හැකි වේ.

විදේශීය වෙළෙඳ පොළෙන් මෙරටට ආනයන කරන ලද විවිධ වර්ගයේ කෘත්‍රිම ආලේප වර්ගවලට වඩා අපේ දේශීය ඖෂධ හරහා රූමත් වීමේ ක්‍රමවේද ඇති බැව් පසක් වේ. තරුණියක් වූ ඔබ දෙස වරක් දෙවරක් නොව හැරි හැරී බලන්නට ආසා හිතෙන ලස්සනම ලස්සන සිරුරක් හිමිකරගැනීමට මේ උපක්‍රම ඔබත් අත්හදා බලන්න.

 

ප්‍රවීණ ඡ්‍යොතිෂ සහ වාස්තු විද්‍යාවේදී කලාභූෂණ, දේශබන්ධු

ටී. හෙන්රි බෙම්මුල්ල