රුව රකින රහස්

මැයි 1, 2019

* ආමන්ඩ් ඇට කිහිපයක්, රැයක් වතුරේ පෙඟෙන්නට හැර පොත්ත ඉවත් කර හොඳින් අඹරා ගන්න. එයට කස්තුරි කහ ස්වල්පයක් සහ යෝගට් හෝ මුදවපු කිරි තේ හැඳි භාගයක් කලවම් කර මුහුණේ සහ බෙල්ලේ ආලේපකර පැය භාගයකින් පමණ සෝදා හරින්න. මෙය සතියකට දෙවතාවක් පමණ කිරීමෙන් මුහුණේ අවපැහැය නැතිවී පැහැපත් කරයිි. කෘත්‍රිම ක්‍රීම් වර්ග ආලේපයට වඩා මෙය වඩාත් සුදුසු ආලේපයකි.

 

* අරළු කුඩු ස්වල්පයක් වතුර සමඟ කලවම් කර මුහුණේ තවරා විනාඩි 20 කින් පමණ සෝදා හැරීමෙන් කුරුලෑ සුව කරයි.

 

* බෙල්ල පෙදෙස අව පැහැ ගැන්වී ඇත්නම් වතුරට දෙහි බිංදු කිහිපයක් දමා දිනපතා සෝදන්න. නැතිනම් අර්තාපල් පෙත්තක් පොඩිකර හොඳින් අතුල්ලා මඳ වේලාවකට පසු සෝදන්න.

 

* සුවඳ විලවුන් ගල්වන විට ඇඳුම්වලට නොව සිරුරට ගල්වන්න. එවිට බොහෝ වේලාවක් සුවඳ වහනය වෙයි.

 

* බිත්තර සුදු මදය ස්වල්පයකට මී පැණි බිංදු දෙකක් පමණ මිශ්‍රකර මුහුණේ උඩු අතට ආලේපකර විනාඩි 25ක් පමණ තබා හොඳින් සෝදා හරින්න. මුහුණ එල්ලා වැටීම වළකා ගැනීමට සුදුසු ප්‍රතිකාරයකි.

 

* දෙහි පමණක් තම්බා හිස සේදීමෙන් අධික ලෙස හිස් කබල වියළී යන නිසා උළුහාල් සමඟ දෙහි තම්බා හිස සෝදන්න.

 

* ඔබේ දෙතොල් වියළි බවින් යුක්ත නම් මී පැණි හෝ ග්ලිසරීන් ස්වල්පයක් ආලේප කරන්න.

 

* පැය දෙකක් පමණ උණු වතුරේ තැබූ ග්ලිසරීන් ආලේප කිරීමෙන් මුහුණේ තැවරුණු ඩයි පහසුවෙන් ඉවත් කරගත හැකියි.

 

* වතුර නොදමා මිරිකා ගත් පොල් කිරි ස්වල්පයකට දෙහි බිංදු දෙක තුනක් එක්කර රාත්‍රී නින්දට පෙර මුහුණේ තවරා උදෑසන සෝදා හරින්න. කුරුලෑවලට සාර්ථක ප්‍රතිකාරයකි.

 

* මුහුණේ සම වියළි නම් වෙනිවැල්ගැට කුඩු ආලේප කිරීමෙන් වළකින්න. මුහුණ හොඳින් සෝදා යෝගට් ස්වල්පයක් තවරා ටික වේලාවකින් සෝදා හැරීමෙන් සමේ වියළි බව නැතිකර එළියක් ගෙන දෙයි.