රුව රකින රහස්

මැයි 22, 2019

1. මුහුණේ හා බෙල්ලේ හටගන්නා කළු ලප සුවකර ගැනීමට අමු කහ, වෙනිවැල් ගැට, ඇල් වතුරෙන් ගලගා ලප මත ආලේප කර විනාඩි 30 කින් පමණ සෝදා හරින්න. මෙය සතියකට තුන් වතාවක් පමණ කිරීමෙන් කළු ලප ක්‍රමයෙන් ඉවත් වෙයි.

2. හිස කෙස් ගැලවී යයි නම් පොල් තෙල් සහ ඔලිව් තෙල් එක්කර පහණකින් රත් කර රාත්‍රියට හිස ගල්වා විනාඩි දහයක් පමණ හිස මසාජ් කරන්න.

3. දොඹ කොළ තම්බා පෙරා නිවුණාට පසුව ඇස් දෙක හොඳින් සේදීමෙන් ඇස් පිරිසුදු වේ.

4. නියපොතු කැඩී දුර්වර්ණ වී ඇත්නම් ඒ මත ඔලිව් තෙල් ආලේප කරන්න.

5. වෙනිවැල් ගැට, කොකුම් පොතු, කස්තුරි කහ, මදතිය මේ සියල්ලෙහි කුඩු සමව ගෙන කලවම්කර බෝතලයක අසුරා ගෙන සතියට දෙවතාවක් පමණ එයින් කුඩු ස්වල්පයක් ගෙන යෝගට් හෝ මුදවපු කිරි ටිකක් එක්කර මුහුණේ , බෙල්ලේ සහ අත්වල තවරා විනාඩි 25 කින් පමණ සෝදා හරින්න. සම පැහැපත් වෙයි. මුහුණේ සම වියළී නම් වෙනිවැල් ගැට කුඩු රත් කිරීමෙන් වළකින්න.

6. අරළු කුඩු මුහුණේ තවරා විනාඩි 20 කින් පමණ සේදීමෙන් ඇස් වටා කළු ගතිය ඉවත් වේ.

7. හිස්හොරි වඳකර ගැනීමට හිස සේදීම සඳහා දෙහි ගැට හා උළුහාල් තම්බන විට පොල් කිරි ස්වල්පයක් ද එක්කර ගැනීමට අමතක නොකරන්න.

8. තොල් ආලේපන ඉවත්කරන විට දෙහි යුෂ ස්වල්පයක් තවරා මඳ වේලාවකට පසු පිසදමන්න.

9. තොල් ආලේපන ඉවත් කිරීමෙන් පසුව තොල් කළු පැහැ ගැන්වී ඇත්නම් එඬරු තෙල් හෝ තක්කාලි යුෂ ස්වල්පයක් තවරා පැය භාගයකට පසුව සෝදා හරින්න. මෙය සතියකට දෙතුන් වතාවක් කිරීමෙන් කළු පැහැය ඉවත් වී යයි.

10. දිනපතා ව්‍යායාම කිරීමෙන් පසුව දොඩම් යුෂ වීදුරුවක් පානය කරන්න. එයින් ඔබේ ගතේ විඩාව නිවෙනවා මෙන්ම පෝෂණයක් ද ලැබේ.