කොරෝනා නිසා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් එල්ල වෙලා

මැයි 13, 2020

කොරෝනා වසංගතය නිසා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයටත් විශාල බලපෑමක් එල්ල වෙලා. නැවත දැනුම් දෙන තුරු වසා දැමූ රූපලාවණ්‍ය ආයතන විවෘත කිරීම පිළිබඳව ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන්/ ශිල්පිනියන් කිහිපදෙනකුත්, සෞඛ්‍ය නිලධාරීන් සහ වෛද්‍යවරුන් සමඟ මාධ්‍ය සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුණා.

තරුණී පුවත්පත සමඟ සම්බන්ධවී සිටින දහස් සංඛ්‍යාත රූපලාවණ්‍ය ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම ඔවුනගේ සේවය ලබාගන්නා ලක්ෂ සංඛ්‍යාත පාඨක පිරිසකගේ දැනගැනීම සඳහා එම සාකච්ඡාවේදී එළැඹි තීරණ පිළිබඳව ඒ අවස්ථාවට සහභාගී වූ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක වන ශ්‍රී ලංකා රූපලාවණ්‍ය හා කේෂාලංකරණ සංගමයේ ආරම්භක මෙන්ම වත්මන් සභාපතිනිය වන නයනා කරුණාරත්න මහත්මිය ඒ පිළිබඳව මෙසේ කතා බහ කළා.

 

රූපලාවණ්‍ය ආයතන නැවත විවෘත කිරිම පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වුණා නේද ?

ඔව්. කොරෝනා ව්‍යසනය නිසා අනෙක් ක්ෂේත්‍රවලට වඩා රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට ලොකු බලපෑමක් එල්ල වෙලා තියෙනවා. අනෙක් ක්ෂේත්‍රවලදී පාරිභෝගිකයා සමඟ ගනුදෙනු කරන්නේ වෙනස් විදිහකට. රූපලාවණ්‍ය ක්ෂේත්‍රය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දී කරන්නේ රුව ලස්සන කරන එක. ඒකෙදි අපිට පාරිභෝගිකයන් සමීපව ඇසුරු කරන්න වෙනවා.

ඉතින් රූපලාවණ්‍ය ආයතන නැවත විවෘත කරන එක ගැන නවක, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීන්ට ගැටලු මතු වෙනවා.

ඒ නිසා මම, රමණී ප්‍රනාන්දු, රම්සි රහමන්, සොහාන් පීරිස්, සංජීව කුමාරප්පෙරුම සහ කමල් හෙට්ටිආරච්චි යන රූපලාවණ්‍ය ශිල්ප ශිල්පීන් සමඟ මේ ගැන සාකච්ඡා කළා. ඉන්පසු මේ පිළිබඳව සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට දැනුම් දුන්නා. එතුමියගේ ප්‍රධානත්වයෙන් තමයි මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුණේ. ඒ අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එල්.ටී. ගම්ලත්, පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය තිලක් සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගීව සිටියා.

එහිදී අපේ මේ ගැටලුව ඉදිරිපත් කරලා සාකච්ඡා කර තීරණයකට ආවා.

ලැබුණු සාධනීය පිළිතුරු මොනවා ද?

එහිදී අපි නීති මාලාවක් සකස් කළා. දැනටමත් එය මාධ්‍ය ආයතන හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා. නීති මාලාවේදී රූපලාවණ්‍ය ශිල්පිනියක් වගේම ආයතනය පවත්වාගෙන යායුත්තේ කොහොමද කියලත් කරුණු ඇතුළත් වෙනවා.

රූපලාවණ්‍ය ශිල්ප, ශිල්පිනියන්ගේ ආර්ථිකය නඟා සිටුවන්න නැවත රූපලාවණ්‍ය ආයතන විවෘත කරන්න කැමැති වුවත් ඔවුන් ඉන්නේ බියකින්. ඉතින් ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කළයුතු දේවල් ගැන ද මෙහිදී සාකච්ඡා කළා.

ඒ වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවා ද?

අපිට අනුමැතිය ලබාදුන්නෛ් රූපලාවණ්‍ය කටයුතු යම් සීමාවකට අනුව කරන ලෙසයි. මුහුණට ආසන්නව කරන දේවල් නොකරන ලෙස දැන්වූවා. විශේෂයෙන්ම ෆේෂල් නොකරන ලෙස දැනුම් දුන්නා. ඒ වගේම රුවුල කැපීමත්. මෙනික්‍යු, පෙඩික්‍යු, කොණ්ඩ කැපීම් පිළිබඳ ගැටලුවක් නැහැ. නමුත් මේ පිළිබඳව නිවැරැදිම නීතිමාලාවක් ඉදිරියේදී දිනයේ දී නිකුත් කරනවා.

ඒ වගේම ආයතනයේ දොරවල් සහ අගුළු විස බීජහරණය කරන්න. පාවිච්චි කරන උපකරණ පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට විසබීජහරණය කරන්නත් දැනුම් දුන්නා. ආයතන පරිශ්‍රයට ඇතුළු වීමේදී රූපලාවණ්‍ය ශිල්පිනිය වගේම පාරිභෝගිකයා ද අදාළ සෞඛ්‍ය නීති පිළිපැදිය යුතුයි.

ඒ වගේම ප්‍රතිකර්මයක් කළ පසු අත් පිරිසුදුව තබාගැනීම, පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට වෙන වෙනම තුවා සහ කේප් පාවිච්චි කිරීම ආදී නීති මාලාවක් ද සකස් කර තිබෙනවා.

රූපලාවණ්‍ය ආයතන විවෘත කිරීම පිළිබඳ නිශ්චිත දිනයක් ගැන සාකච්ඡා කළා ද?

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දී ඇති නීතිවලට අනුකූලව කටයුතු කරන ආයතනවලට විවෘත කිරීමේ හැකියාව ලැබෙනවා. එහිදී අදාළ රූපලාවණ්‍ය ආයතනය අදාළ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා රූපලාවණ්‍යාගාරය වෙත පැමිණෙනු ඇත. උපදෙස් මාලාව අනුව ලබාදී තිබෙන කරුණු අනුව එම ස්ථානය පරීක්ෂාකර තම නිර්දේශය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙත යවනු ලබයි. එම නිර්දේශ සලකා බලා ස්ථානය යළි විවෘත කිරීමට අදාළ අනුමැති සහතිකය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් නිකුත් කෙරේ.

එතෙක් රූපලාවණ්‍ය ආයතන විවෘත කිරීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. පළමුව ප්‍රදේශයේ සෞඛ්‍ය පරීක්ෂකවරයාට රූපලාවණ්‍ය ආයතන පිළිබඳ දන්වා සිටින්න. ඉන්පසු ඔහු ඒ සඳහා කටයුතු කරයි.

ඒ නිර්දේශයෙන් පසුව නැවත පරීක්ෂා කිරීමක් සිදු වනවා ද?

නිර්දේශය ලැබී අදාළ රූපලාවණ්‍ය ආයතන විවෘත වූවාට පසුව නැවතත් සෞඛ්‍ය පරීක්ෂක කිහිප විටක්ම පරික්ෂා කටයුතු සඳහා පැමිණෙනු ඇත. එහිදී රූපලාවණ්‍ය ශිල්පියා සහ ආයතනය අදාළ සෞඛ්‍ය නීතිවලට අනුගත නොවේ නම් නිර්දේශය අවලංගු විය හැකියි. ඒ නිසා සෑම රූපලාවණ්‍ය ශිල්පියකුම ඒ උපදෙස්, නීති පිළිපැදීම අනිවාර්යය කළ යුතුයි. ඒ හරහා සාමාන්‍ය පරිදි රූපලාවණ්‍ය ආයතන පවත්වාගෙන යාමට ඉඩකඩ සැකසෙනවා.