රුව ගැටලු

මැයි 20, 2020
ලස්සන වෙන්න අපි කවුරුත් කැමැතියි. එයට වයස් භේදයක් අදාළ වන්නේම නැහැ. ඒ නිසාමයි තරුණ තරුණියන්ට වගේම මැදි වයස පසුකරමින් සිටින අයත් රූපලාවණ්‍ය ගැන මෙතරම් උනන්දුවක් දක්වන්නේ.
නමුත් මේ දිනවල ගෙදරට වෙලාම සිටීමට සිදුව ඇති නිසා රූපලාවණ්‍ය කටයුතු සඳහා රූපලාවණ්‍යාගාරයක් වෙත යන්නත් අවස්ථාව ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ඔබේ රූපලාවණ්‍ය කටයුතු නිවෙසේදීම කළ හැකි නම් පහසුවක් වේවි.
 
එලෙස රුව ගැන වැඩි සැලකිල්ලක් දක්වන ඔබට මේ දිනවල රුව පිළිබඳ ගැටලු ඇත්නම් අපට ලියන්න.
 
අපේ ලිපිනය
රුව ගැටලු
තරුණී, ලේක්හවුස්
කොළඹ - 10
 

දෑතෙහි රෝම වැවිලා

ප්‍රශ්නය

මම 31 වියැති කාන්තාවකමි. මාගේ දෑත්, දෙපාවල වැඩි වශයෙන් රෝම හට ගනී. දෑත්වල රෝම වැවී ඇත්තේ පිරිමියකුගේ මෙනි. මේ දිනවල සැලෝන් වසා ඇති නිසා වැක්ස් කිරීමටද ක්‍රමයක් නැත. නිවෙසේදීම වැක්ස් කර ගත හැකි ක්‍රමයක් තිබේ ද?

මැණික්හින්න - සසාරා

පිළිතුර

අත් දෙකේ රෝම තියන තරමට හොඳයි. නමුත් සමහර අයට මේක හිතට වදයක්. ඉතින් ඒකට සැලුන් යනවා. තියෙන විසඳුම වැක්සින්. ඒත් මේ වැක්සින් එක ගෙදරදී කර ගන්න පුළුවන්ද? මෙය මේ දවස්වල ගොඩ දෙනෙක් කතා කරන රූපලාවණ්‍ය ගැටලුවක්. ඔව් මේ වැක්සින් එක දැන් ඔබට ගෙදරදී කරගන්න පුළුවන්.

ක්‍රම කිහිපයකට වැක්සින් එක කරගන්න පුළුවන්. සිනි වැක්සින් කරන එක් ක්‍රමයක්. ඒ සඳහා සාස්පානකට සීනී කෝප්පයකුත්, ලෙමන් යුෂ මේස හැඳී හතරකුත්, වතුර මේස හැඳී හතරකුත් දමා උකු පේස්ට් එකක් වෙනතුරු හැඳී ගාන්න වෙනවා. ඊට පස්සේ වෙනම භාජනයකට දමා අදාළ ස්ථානවල මේ පේස්ට් එක ආලේප කරන්න. ටිකකින් වැක්සින් එකක වගේ ම ඒක ගලවලා අයින් කරන්නයි තියෙන්නේ. සෝයා භාවිත කරලත් වැක්ස් කරන්න පුළුවන්. සෝයා ආශ්‍රිත නිෂ්පාදන භාවිත කිරීමෙන් රෝම තියන ස්වාභාවයට වඩා සිහින් වෙනවා. කාලයත් එක්ක අනවශ්‍ය රෝම කූප මේ සිහින් වීම එක්ක නැති වෙලා ම යනවා.

පැපොල් යොදාගෙන වැක්ස් කළොත් වැඩි ප්‍රතිඵල ලබාගත හැකියි. මේ වැඩේ හරියට ම කළහොත් කාලයත් එක්ක රෝමවලින් සම්පූර්ණයෙන් ම නිදහස් වෙන්න පුළුවන්. අමු පැපොල් තේ හැඳී දෙකකුත් කහ කුඩු තේ හැඳී භාගයකුත් දාලා පේස්ට් එකක් හදාගෙන අත්වල ගල්වා විනාඩි 15ක් වේලෙන්න ඉඩ හැර ඉවත් කරගන්න. සතියකට වරක් මෙය සිදු කරන්න.

ලෙමන් යුෂවලින්ද මෙය කරගන්න පුළුවන්. එහෙත් ලෙමන් යුෂවලින් පමණක් මේ කාරණාව කරනකොට ගොඩක් පරිස්සම් වෙන්න ඕනි. ඒ නිසා දවසම ගෙදරට වෙලා ඉන්න. ඉර එළියට පොඩ්ඩක්වත් වැදෙන්න හොඳ නැහැ. මොකද ඒක හමට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ලෙමන් යුෂ අරගෙන අත්වල හොඳීන් ගාලා විනාඩි විස්සක් තියලා සෝදා හරින්න ඕනි.

පියුමික් ගල් ((pumic stone) ඕනෑම රූපලාවණ්‍ය නිෂ්පාදන අලෙවි කරන ස්ථානයකින් ලබාගන්න පුළුවන්. බොහෝ විට භාවිත කෙරෙන්නේ හමේ මැරුණු සෛල ඉවත් කරන්නයි. නමුත් රෝම ගැටලුවටත් උපකාරී කරගන්න පුළුවන්. විනාඩි දහයක් මෙය උණු වතුරේ තියන්න ඉඩ හරින්න. ඉන්පසු භාවිතයට ගන්න. පියුමික් ගල් හමේ අතුල්ලනකොට වෘත්තාකාර විදියට එය ඔබේ තෙත සමේ කළ යුතු වෙනවා.

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර

2020/05/20 තරුණි පුවත්පත බලන්න