නිතර කොණ්ඩය අවුල් වෙන්නේ ඇයි?

ජුනි 3, 2020

ප්‍රශ්නය

මම 28 හැවිරිදි, රජයේ රැකියාවක් කරන තරුණියක්මි. මාගේ කෙස් කලඹ නිතර අවුල් ස්වභාවයක් ගනී. කෙතරම් පීරා පිළිවෙළකට සැකසුවත් නැවත අවුල්, අපිළිවෙළ පෙනුමක් ගනී. මෙයට කුමක් කළ යුතු ද?

ගංගා

 

පිළිතුර

හිසකෙස් දිනපතාම සේදීමෙන් වළකින්න. කොණ්ඩය නිතර අවුල් වීමට හේතුව එය විය හැකියි. වියළි කොණ්ඩයක් නිතර ෂැම්පු කිරීමෙන් එය තවත් වියළි බවට පත්වෙනවා. මේ නිසා සතියට තුන් වතාවක් ෂැම්පු කිරීම ප්‍රමාණවත්. ඒ වගේම වියළි හිසකෙස් සඳහාම නිෂ්පාදනය කර ඇති ෂැම්පු වර්ගයක් ගල්වන්න.

ඔබ හිසකෙස් සෝදන අවස්ථාවේදී, හිසකෙස් මුල පමණක් ෂැම්පු කිරීමෙන් ඔබේ හිසකෙස් නිතර අවුල් වීම වළක්වා ගන්න පුළුවන්. කෙස්වල මතුපිටට ෂැම්පු නිතර වැදීමෙන් කෙස් ගස් වියළි බවට පත් වී, නිතර අවුල් වෙන්නට පටන් ගන්නවා. ඔබ ෂැම්පු වර්ග තෝරා ගැනීමේදී සල්ෆේට් අඩංගු ෂැම්පු වර්ග තෝරා ගැනීමට ප්‍රවේශම් වන්න.

කන්ඩිෂනර් වලින් හිසකෙස් වලට පෝෂණය සහ තෙතමනය සපයනවා. වියළි හිසකෙස් වෙනුවෙන්ම නිපදවූ කන්ඩිෂනර් වර්ගයක් භාවිත කරනවා නම් වඩාත් සුදුසුයි. ෂැම්පු ගැල්වූ සෑම අවස්ථාවකදීම, කන්ඩිෂනර් ගල්වන්න අමතක කරන්න එපා. කන්ඩිෂනර් ගල්වා විනාඩි 5කට පමණ පසු හිසකෙස් සෝදා හරින්න.

නිතරම අවුල්වන ස්වභාවයකින් යුක්ත ඔබේ හිසකෙස් පිස දැමීමට වඩා සුදුසු වන්නේ මයික්‍රොෆයිබර් තුවායක්‍. එය කොට්න් තුවාවලටත් වඩා ප්‍රතිඵලදායි. කොට්න් තුවාවල ඇත්තේ ස්වභාවික තන්තු වුවත්, මයික්‍රොෆයිබර් තුවාවල විශේෂයෙන් සැකසූ සංයෝගාත්මක තන්තු අඩංගුයි. තුවායෙන් හිස අතුල්ලන්නට යන්න එපා. එය හිසට සහ කෙස්වලට තබා තද කිරීමෙන් ජලය ඉවත් කර ගත හැකියි.

කෙස්වල ඇති අවුල් ස්වභාවය ඉවත් කිරීමේ මනා හැකියාවක් සිලිකන් ඔයිල් වලට තිබෙනවා. අත්ලට තෙල් ස්වල්පයක් ගෙන, අත් දෙකෙන් හොඳීන් අතුල්ලා, කෙස් වල ආලේප කරන්න. අවුල් වූ කොණ්ඩය පීරීමේදී දැති ලොකු පනාවක් භාවිත කරන්න. පනාවේ දැති වලට සිලිකන් ඔයිල් ස්ප්‍රේ කර කොණ්ඩය පීරීමෙන් අවුල් පහසුවෙන්ම ඉවත් කර ගන්න පුළුවන්.

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පිනී

වජිරා ලොකුගේ

 

 

2020/06/03 තරුණි පුවත්පත බලන්න.