ඔබේ රුව රැකීමටඅපි සූදානම් වන්නේ මෙහෙමයි

ජුනි 17, 2020

නොසිතූ මොහොතක ලෝකය පුරා ව්‍යාප්ත වූ කෝවිඩ් වසංගතය හමුවේ සාමාන්‍ය ජන ජීවිතය උඩුයටිකුරු වුණා. එය අපේ රටට පමණක් නොව මුළු මහත් ලෝකයටම ආර්ථික සහ සාමාජීය වශයෙන් විශාල බලපෑමක් ඇති කළා.

හැමදාමත් තමන්ගේ රූපය සුන්දරව හැඩවැඩ කරගත් අපේ කාන්තවන්ට ද මේ කෝවිඩ් හමුවේ පසුබාන්නට සිදු වූයේ රූපලාවණ්‍යාගාර ද වැසී ගිය නිසායි.

නමුත් නිවෙසට වී ගත කරනා කාලය තුළ පුංචි පුංචි රූපලාවණ්‍ය උපක්‍රම භාවිත කළ ද ඔබට විශේෂිත වූ සත්කාර සඳහා රූපලාවණා්‍යාගාරයක සහාය අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම කේශාලංකාර කටයුතු වැනි දෑ තනිවම නිවෙසේ දී සිදු කරගත නො හැකි බැවින් රූපලාණ්‍යාගාරයක් වෙත යායුතු අතර සෞඛ්‍ය හේතූන් නිසාම ඇතැම් විට ඔබ ඊට පසුබසිනවා නො අනුමානනයි.

මේ වනවිට රට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන අතර සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් රූපලාවණ්‍යාගාර ද විවෘත කෙරෙමින් පවතී. එබැවින් රුපලාවණ්‍යාගාර තුළ දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය විධි විධාන පිළිබඳ සොයා බලන්නට අප උනන්දු වූ අතර පළමුවෙන් ඒ ගැන කතාබහට එකතු වනුයේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පනී ජීවනී ජයතිලක.

“අති නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත අපගේ රූපලාවණ්‍යාගාරය මෙම කෝවිඩ් වසංගතයෙන් ඔබව ආරක්ෂා කරගැනීම සඳහා යෙදිය හැකි සියලුම ආරක්ෂක විධි විධානයන් අනුගමනය කරනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරින් විසින් අනුගමනය කරන ලද සේවාවන් ලබාදීමට තමයි අපි කටයුතු කරගෙන යන්නේ.”

මොනවද මේ සෞඛ්‍ය විධිවිධාන කියලා අපිට පැහැදිලි කළහොත්?

“ඇත්තටම කිව්වොත් ඔබගේ සේවය ලබාගැනීමට පළමුවෙන්ම අපෙන් දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතු වෙනවා. එවිට අනවශ්‍ය විදිහට පිරිස රැඳී සිටීමක් සිදුවන්නේ නැහැ. ඒ වගේම තමයි සේවය ලබා ගතයුතු පුද්ගලයා හැර වෙනත් අය ඇතුළු කරගන්නෙත් නැහැ. මෙහි පැමිණෙන විට මුව අවරණයක් පැළඳ සිටීමත් අනිවාර්යයි.

අපේ රූපලාවණ්‍යාගාරයට ඇතුළුවීමට පෙර ශරීර උෂ්ණත්වය පරීක්ෂා කෙරෙන අතර දෑත්, දෙපා විසබීජහරණයට ලක් කෙරෙනවා. අනතුරුව ඔබ විසින් රැගෙන එන බඩු බාහිරාදිය මෙහි සකසා ඇති කබඩ්වල තබා යතුර ලබා ගත හැකියි. යම් කෙනකු තම සේවාව ලබාගෙන පිටත් වූ පසු ඇය අසුන් ගත් ආසනය පමණක් නොව මේ බෑග් තැබූ කබඩය සහ යතුර පවා අපි විසබීජහරණය කරනවා.

ඒ වගේම තමයි අපේ රූපලාවණ්‍යාගාරය තට්ටු පහකින් සමන්විතයි. ඒ නිසාම බෙහෙවින් ඉඩකඩ සහිතයි. එබැවින් එකිනෙකා අතර මීටරයක් නොව මීටර් තුනක පමණ දුරස්ථ බවක් තබා කටයුතු කළ හැකියි.”

 

2020/06/17 තරුණි පුවත්පත බලන්න.