හානියට පත් කෙස් කලඹක් නිරෝගී කරගන්නේ කොහොම ද?

ජූලි 29, 2020

ප්‍රශ්නය

මම 29 හැවිරිදි තරුණියක්. මා කිහිපවරක් කෙස් කලඹ රීබොන්ඩින් කර තිබේ. දැන් කෙස් කලඹ කොස්සක කෙඳී මෙන් දිස් වේ. කලින් තිබූ දීප්තිය දැන් නැත. මෙයට කුමක් කළ යුතු ද?

කටුගස්තොට - නදීකා

 

පිළිතුර

හිසකෙස්වලට නිසි කාලයට ප්‍රතිකාර නොකළොත් හෝ කෙස් අඟ කැපීම නොකළොත් හිසකෙස්වලට හානි විම වැඩියෙන් සිදු වෙනවා. ඒ හරහා කෙස් පැලීම්, කෙස් අකලට සුදු වීම, හිසකෙස් සිහින් වීම හෝ හිසකෙස් වැටීම වගේ ලක්ෂණ පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම රිලැක්සිං ෆර්මිං, ස්ට්‍රේටිං වැනි රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් කරන හිසකෙස් සත්කාර නිතර කිරීමෙන් කෙස් ගසට හානි සිදු වේ. මෙවන් තත්ත්වයකදී කෙටි කාලයක් එම සත්කාරවලින් ඈත් වී කෙස් කලඹට විවේකයක් ලබා දෙන්න.

ඒ අතරතුර හිස්කබලේ තෙල් අලේප කරමින් හොඳීන් සම්බාහනය කරන්න. එමගින් ඔබගේ රුධිර සංසරණය වැඩි දියුණු වී හිසකෙස් වර්ධනය උත්තේජනය කිරීමට උපකාරී වෙනවා. හිසකෙස්වල ඝණකම සහ දිග වැඩි කරවනවා. අධික රසායනික ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වෙනුවට ස්වභාවික නිෂ්පාදන භාවිතා කරන්න. හිසකෙස්වලට හානි කරන රසායනික ද්‍රව්‍ය වෙනුවට නිවසේදී ම කළ හැකි ස්වාභාවික පිළියම් කොණ්ඩයට තෝරා ගන්න.

ෂැම්පූ ගල්වන සෑම අවස්ථාවකදීම කන්ඩිෂනර් ආලේප කරන්න. කන්ඩිෂනර් හරහා පළුදු වූ කෙස් කලඹට ජීවිය ලබා ගත හැකියි.

ඔබගේ හිසකෙස් ප්‍රධාන වශයෙන් ස්වාභාවික කෙරටින් වලින් සමන්විත නිසා කෙරටින් මත පදනම් වූ නිෂ්පාදන විතරක් භාවිත කරන්න.

රූපලාවණ්‍ය ශිල්පිණියක් හමු වී කෙරටින් සත්කාරයක් කර ගැනීමෙන් වැඩි ප්‍රතිඵල ලබා ගත හැකියි.

සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්න. යහපත් හිසකෙස් රැකවරණ පුරුදු වගේම සමබල ආහාර වේලක් ද කොණ්ඩයේ ගුණාත්මක බවට බලපානවා. පෝෂක ඌනතාවයන් කළමනාකරණය කිරීම සඳහා පෝෂණ අතිරේක භාවිතා කරන්න. දෛනික ආහාර වේලට ප්‍රෝටීන්, ඛනිජ සහ අත්‍යවශ්‍ය මේද ද එකතු කර ගන්න.

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පී

සමන්ත ගුණසේකර

 

2020/07/29 තරුණි බලන්න